|
|
|
|
2009 අප්‍රේල් 02 වෙනි බ‍්‍රහස්පතින්දා, 11:08
අද වන විට සැණෙකින් කිලෝමීටර දහස් ගණනක් පුරා දිවෙන විදුලි දුම්රිය බිහිවී තිබුණත්, දුම්රියේ ආරම්භය ගැන කතා කිරීමේදී වාෂ්ප දුම්රිය එංජිම හෙවත් ගල් අඟුරු බලයෙන් ක‍්‍රියාත්මක කෙරෙන දුම්රිය ගැන මතකය අමතක කළ නොහැකියි. අද වන විට මෙම වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වන දුම්රිය කෞතුක වස්තුවක් බවට පත්ව තිබෙන බව කියන්න පුළුවනි. වෙනත් රටවල මෙම දුම්රිය ධාවනය නොවුවද සංචාරකයින්ගේ මන දොළ සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ තවමත් මෙය ධාවනයට යොදවා තිබීම සතුටටම කරුණක් බව කියන්න පුළුවනි. මෙරට පුද්ගලික සමාගමක් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම කටයුත්ත පවත්වාගෙන යන අතර, සංචාරකයින්ගේ කැමැත්ත අනුව මෙය වෙන්කරවාගෙන අපූරු ගමනකට එක්වීමට පුළුවන.
එලෙසින් වාෂ්ප එංජිම සහිත දුම්රියේ නැගී සංචාරයකට එක්වීමට කැමති ඔබ වෙනුවෙන් මේ දුම්රිය ගැන කරන සටහන කියවන්න.
1930 ගණන් වලදී එංගලන්තයෙන් ගෙන්වන ලද මෙම දුම්රිය එංජින් 3ක් පමණ මෙලෙස අලූත්වැඩියා කටයුතු සිදුකොට ධාවනයට යොදවා තිබේ. මෙම දුම්රිය එංජිමට මැදිරි තුනක් සවිකොට ඇති අතර, එයින් එක් මැදිරියක් භෝජනාගාරය හෙවත් අවන්හල සඳහා වෙන්කර ඇත. අනෙක් මැදිරි දෙක අති සුඛෝපභෝගී මගී රථ ලෙස සකසා තිබේ. එසේම මෙහි ඉපැරණි බව ඉස්මතු කෙරෙන අතර, ආසන වෙල්වට් යොදා කුෂන් කර ඇත.
සාමාන්‍ය දුම්රිය මැදිරි වලට වඩා වෙනස් ලෙස තනා ඇති මෙහි සංචාරකයින්ගේ පහසුව සඳහා මේස රඳවා තිබේ. තමුන්ට කැමති ලෙස ආහාර පාන ගෙන විනෝද වීමට හැකි පරිදි එලෙස තනා තිබේ. මෙම දුම්රියේ එකවර සංචාරකයින් 64 දෙනෙකුට පමණ ගමන් කළ හැකිය. මැදිරි ත‍්‍රිත්වයම වායුසමනය කර ඇත. මෙහි ගමන් ගන්නා විට ගරු ගාම්භීර බවක් නිරන්තරයෙන් ඇතිවන්නේ පෞරාණික බව සහ සුඛෝපභෝගීත්වයේ සංකලනය නිසාමය.
පුද්ගලික ආයතනයක් සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වාගෙන යන මෙම සංචාරක දුම්රිය සේවාව කොළඹ කොටුව සිට නුවර දක්වාත්, හබරණ හරහා නැවත පොළොන්නරුව සීගිරිය සිට නුවර දක්වා මෙන්ම නුවරඑළිය, නානුඔය, බදුල්ල දක්වාත් ගමනාන්ත සිදු කරයි.
මෙලෙසින් වාෂ්ප එංජිමක් යොදාගෙන සංචාර පවත්වන්නේ එතෙර මෙතෙර සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ භූමි දර්ශන නරඹන අතරේ අපූරු දුම්රිය ගමනක ආස්වාදය ලබාදීමට බව මෙය පවත්වාගෙන යන පුද්ගලික සමාගම පවසයි. මෙම දුම්රිය එංජිමට අවශ්‍ය ගල් අඟුරු ඉතා මිල අධික බවත් එම සමාගම සඳහන් කරයි. එමෙන්ම ගල් අඟුරු අතර, ප‍්‍රමිතියක් ඇති ගල් අඟුරු පමණක් මේ සඳහා යෙදීමට සිදුවන බවද සමාගම සඳහන් කරයි. අද ලොව පුරා මෙලෙස දුර්ලභ ගණයේ දුම්රිය ගමන් නැති නිසා මෙලෙසින් ගල් අඟුරු ආනයනය කිරීම ඉතා දුෂ්කර දෙයක් බවද සඳහන් කිරීමට පුළුවනි.
කෙසේ වෙතත් අධික වියදමක් දරා, නැවත පිළිසකර කළ මෙම වාෂ්ප දුම්රිය මෙලෙසින් සංචාරකයින්ගේ මනදොළ සපුරාලීමට සඳහා යෙදවීම සුන්දරත්වය සහ ජීවිතයට ආස්වාදය සොයන අප අගය කළයුතු දෙයකි. මෙම පුද්ගලික සමාගම නොවන්නට සමහර විට මෙම වාෂ්ප දුම්රිය එංජින් මෙන්ම මැදිරි තවත් දිරා පත්වූ සුන්බුන් ගොඩක් බවට පත්වීමට ඉඩ තිබිණ. නමුත් මේ රටට ලෝකයට ආදරය කරන සුන්දර මිනිසකුගේ සංකල්පයකට අනුව මෙම සංචාරක දුම්රියේ පහස ලැබීමට අද අපට හැකිවී තිබේ. එළඹෙන වසත් සමයේ සතර අතින් පෙනෙන සෞන්දර්යේ චමත්කාරය අත්විඳිමින් අපූරු දුම්රිය ගමනක යෙදෙන්න. එය ජීවිතයේ ඔබ ගිය සොඳුරුතම සංචාරයක් වේවි. විස්තර සහ වෙන්කර ගැනීම් සඳහා 0112 587996 අංකයට අමතන්න.
සඳුන් ගමගේ
|
 |
|
| |
|
|