2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


වෙනස් චරිත සොයන සනත්...

සනත් විමලසිරි කියන ප‍්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා පිළිබඳව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මන්ද යත් ඔහු මෙතෙක් ඉදිරිපත් කර ඇති චරිත තුළින් ඔහු පේ‍්‍රක්‍ෂකයන් අතර නොමැකෙන රංගන ශිල්පියෙකු බවට පත්ව තිබෙන නිසයි. මේ දිනවල ෑ්ඡු මණ්ඩලයේ ප‍්‍රදර්ශනය වන රෝයි ද සිල්වාගේ ‘සර් ලාස්ට් චාන්ස්’ චිත‍්‍රපටයේ මෙන්ම, ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන ‘ඉතිං ඊට පස්සේ’ නාට්‍ය තුළිනුත් සනත් ඔබ හමුවට එනු ලබනවා.

පසුගිය දිනවල විකාශය වූ ‘සිටු ගෙදර’ හි ඔබ වඩා වෙනස් චරිතයකින් පේ‍්‍රක්‍ෂකයන් හමුවට පැමිණියා. මෙවැනි චරිතයකට සම්බන්ධ වෙන්න හිතුවෙ ඇයි?

ගැමි, අව්‍යාජ, සරල පැවතුම් සහිත නිහතමානී ගුණගරුක කෙනෙක්ගෙ චරිතයක් තමයි මම එහිදී කළේ. ඔහු නාගරීකරණය නොවූ ගැමි තරුණයෙක්. ඔහු තුළ හොඳ මනුෂ්‍යයෙකුත් ඉන්නවා. නාගරීකරණයත් සමග අපේ සමාජය බෙදී තිබෙන, ගැහැනුන්ට මේ වැඩ උරුමයි, පිරිමින්ට මේ වැඩ උරුමයි කියන තැන ඔහු නැහැ. සෑම කෙනෙකුටම එක හා සමාන දයාවකින් මානව හිතවාදීකමකින් වැඩ කරන කෙනෙක්. එවැනි විවිධ චරිත රඟපෑමේ වරම් මට සෑහෙන කාලය සිට තිබුණා. පැණි බේරෙන පේ‍්‍රමවන්තයාගේ චරිතය විතරක් නෙවෙයි, වයසක චරිත, බයාදු චරිත, මුරණ්ඩු චරිත ආදී විවිධ චරිත රඟපාන්න වාසනාව ලැබුණා. හැබැයි ඒවා හරියට කළාද කියලා නම් මම දන්නෙ නැහැ.

මොන වගේ ප‍්‍රතිචාරයන්ද ඒ සඳහා ලැබුනේ?

පසුගිය කාලේ නාට්‍ය රූගත කිරීම් සඳහා විවිධ ප‍්‍රදේශ වලට ගියහම ‘අන්න සිටු ගෙදර පියනන්ද’ යනවා කියලා බොහෝ අය කතා කරනවා. මම පියනන්දගෙ චරිතය ඇතුළේ කතා කරන දේවලූත් ඒ අය කියනවා. ‘දරුවො කියන්නෙ සම්පතක්ද’ වගේ දෙබස් කියනවා. වේදිකා නාට්‍ය කරන්න ගියහම නම් එතනදි ටෙලි නාට්‍ය වලට තියෙන ප‍්‍රතිචාර අහන්න බලන්න වෙලාවක් නැහැ. නමුත් මම වේදිකාවට ගොඩවෙනකොටම මගේ මූණ දිහා බල බලා හිනාවෙමින් අත්පුඩි ගහලා ප‍්‍රතිචාර දක්වනවා.

‘ඉතිං ඊට පස්සේ’ සේනකගේ චරිතය අතිශය සැර පරුෂ වෙලා ‘සිටු ගෙදර’ අර වගේ චරිතයක් කළේ කොහොමද කියලා බොහෝ අය මගෙන් අහනවා.

ඔබ රංගනයේ යෙදෙන ‘සර් ලාස්ට් චාන්ස්’ චිත‍්‍රපටය ගැන කතා කළොත්?

සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුණා රෝයි ද සිල්වා මහතාගේ වාණිජ චිත‍්‍රපටයකට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඔහුගෙන් මේ චිත‍්‍රපටයට ලැබුණු ආරාධනය මම ආසාවෙන් බාර ගත්තා. චිත‍්‍රපටය බාර ගත්තට පස්සෙ තිබුණු ලොකුම ප‍්‍රශ්නය තමයි ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද යන්න. මම දෙතුන් වරක්ම රෝයි ද සිල්වා මහතාට කිව්වා ‘ලොකු අයියෙ... මේ වැඬේ අතෑරලා දාමුද... වෙන විකල්පයකට ගියොත් හොඳ නැද්ද’ කියලා. මොකද ගැළපෙන්නෙ නැති කතන්දර වලට ගිහින් චිත‍්‍රපටයත් නෝන්ඩි වෙලා, මමත් නෝන්ඩි වෙලා පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවේවි කියලා මට හිතුණා. රෝයි ද සිල්වා මහතා මට කියන්නෙ ‘කන්ටි‍්‍ර මෑන්’ කියලා. මොකද මමත් ඔහුගේ ගමේ නිසා. ‘කන්ටි‍්‍ර මෑන් කිසි දෙයක් ප‍්‍රශ්නයක් කරගන්න එපා... මම දන්නවා ඔයාට මේක කරන්න පුළුවන් කියලා..’ ඔහු මට පිටට තට්ටුවක් දාලා චරිතය කරන තැනට පෙළඹුවා. බොහොම සුන්දර විදිහට ඒ කාර්යය කරන්න ලැබුණා.

මේකෙදි ඔබ කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරනවා නේද?

මටත් දැන් නම් හිතාගන්න බැහැ මොකක්ද සිද්ධ වුනේ කියලා. අපි නිකං විනෝදෙට ඔය වගේ චරිත කළාට චිත‍්‍රපටයක එවැනි චරිතයක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතුවෙ නැහැ. නමුත් අපට ලැබුණු උපදෙස් අනුව ඒ චරිතය කළා. හැබැයි චරිතයට මොනතරම් සාධාරණයක් වුණාද කියලා මම නම් දන්නෙ නැහැ.

ඔබේ රංගන දිවිය තුළ මෙවැනි හාස්‍යජනක චිත‍්‍රපටයකට සම්බන්ධ වීම ඔබට කොතරම් හිතකර වේවිද?

මම මේ ක්‍ෂේත‍්‍රයට ආව මුල් දවසේ ඉඳලා හිතේ තිබුණු එක් දෙයක් තිබුණා. ඒ එකම රාමුවකට කොටු නොවී සිටීමයි. වේදිකා නාට්‍ය වලට ආපු දවසේ සිට අත්වැල් ගායනය ලැබුණත් කරනවා, අවශේෂ චරිතත් කරනවා, නාට්‍යයේ පෝස්ටර් ඇලවීම වුණත් කරනවා. වේදිකාව අතුගාන්න නම් තියෙන්නෙ ඒකත් කරනවා. මොන චරිතෙද කියන දේ වෙනුවට මගෙන් මොකක් හරි මෙහෙවරක් ඉටුවනවාද යන්න ගැන විතරයි මම හිතන්නෙ.

ටෙලි නාට්‍ය ගත්තත් සීනි බෝල පේ‍්‍රමවන්තයාගේ චරිතය පමණක් නොවී සමාජයට පරිභාව චරිත, හාමුදුරුවරුන්ගේ චරිත, වයසක චරිත ආදී කළුසුදු චරිත කරලා තියෙනවා. ඒකෙන් මට හානියක් වෙනවද කියන දේ බලනවා වෙනුවට නිර්මාණයට මගෙන් දායකත්වයක් ලබාදිය හැකිද යන්න ගැන විතරයි මම බලන්නෙ.

චිත‍්‍රපට ගත්තත් මේක වාණිජද, සම්භාව්‍ය එකක්ද, හාස්‍යජනක එකක්ද යන්න නොව නිර්මාණයට මගෙන් වැදගත් දෙයක් සිදුවනවාද යන්න ගැන විතරයි මම හිතන්නෙ. ‘සර් ලාස්ට් චාන්ස්’ අපේකම, අපේ චිත‍්‍රපට කලාව, අපේ නළු නිළියන් යන්න ගැන දැඩි ලෙස ආදරයෙන් කතා කරන මාතෘකාවක් යටතේ තමයි හැදිලා තියෙන්නෙ. බොහොම හාසේ‍යා්ත්පාදක වුණාට ඒ තුළ විදේශීය රටවලට අපේ රටේ කලාව ආක‍්‍රමණය කරන්න දිය නොහැකිය යන්න ගැන තදින්ම කතා කරනවා.

ලැබෙන  ඕන දෙයක් බාර ගැනීම තුළ තිබෙන්නේ ආර්ථිකමය කාරණයක් කියලා කාටහරි කියන්න පුළුවන් නේද?

එහෙම නම් වේදිකා නාට්‍ය කරන්න අවශ්‍ය නැහැ. වේදිකා නාට්‍ය කියන්නෙ මහලොකුවට සල්ලි හම්බ කරන ක්‍ෂේත‍්‍රයක් නෙවෙයි. මම තාමත් වේදිකා නාට්‍ය කලාවට ආදරෙයි. මම අද දවස වෙනකොට වැඩිපුරම ඉන්නෙ වේදිකා නාට්‍ය තුළයි. ‘මනමේ’ හා ‘සිංහබාහු’ ඇරුණම වේදිකාවේ සම්මානයක් මුලින්ම හිමිකර ගත් ධනංජය කරුණාරත්නගේ ‘ඔබ සාපේක්‍ෂයි’ හා ඔහුගේ නාට්‍ය 4ක් එකමුතුව පවත්වන ‘සිහින රඟහල’ නාට්‍යයේ රඟපානවා.

මට ලැබෙන හැම චරිතයකටම සම්බන්ධ වෙනවා කියන දේ නෙවෙයි මම කියන්නෙ. මට කරන්න පුළුවන් සීමාව තුළ බාරගන්න පුළුවන් හැමදෙයක්ම මම කරනවා.

ඔබ මේ දිනවල ‘මනමේ’ නාට්‍යයේදී මනමේ කුමරාගේ චරිතය හා ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහබාහුගේ චරිතය රඟදක්වනවා. මේ චරිත ද්විත්ව සුවිශේෂී රංගනයන් බව විචාරක මතයයි. මේ චරිත ඔබට දැනෙන්නේ මොන විදිහටද?

මම පාසල් යන කාලේ සිටම මනමේ හා සිංහබාහු නාට්‍ය වල රඟපෑවා. මනමේ හි මම මුලින්ම කළේ වැද්දෙකුගේ චරිතය. ඉන්පසුව කුමාරවරයෙකුගේ චරිතය කළා. කාලයක් යන විට වැදි දෙටුගේ චරිතය මට ලැබුණා. මම මේ වකවානුවේ මනමේ කුමරුගේ චරිතය කරනවා. ඒ එක්කම සිංහබාහු නාට්‍යයේ වැසියෙකුගේ චරිතයෙන් ආරම්භ කර සිංහබාහුගේ චරිතය දක්වා මම අද වන විට පැමිණ තිබෙනවා.

මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය සුවිශේෂී වන්නේ හේතු කීපයක් මතයි. මනමේ කුමරාගේ චරිතය කරන්න රඟපෑමට දක්‍ෂ වුණාටම මදි, ගීත ගායනයටත් දක්‍ෂ වෙන්න  ඕන, නටන්න දක්‍ෂ වෙන්නත්  ඕන. නමුත් මේ තුනටම දක්‍ෂ වුණත් වැඩක් නැහැ. කටහඬ පෞරුෂයක් පවත්වාගෙන ගියේ නැත්නම්. එවැනි හැකියාවන් ගොඩක් සහිත මනා පෞරුෂයක් අවශ්‍ය වෙනවා. වේදිකාවේදී මොන ප‍්‍රතිචාර ආවත්, කවුරු හිනාවුණත් මනමේ කුමරුගේ චරිතය වෙනස් වෙන්න බැහැ. ඒ නිසා පෞරුෂය වඩවාගෙන තමයි මනමේ හා සිංහබාහු නාට්‍ය වල චරිත කරන්න  ඕන.

සිංහබාහු හා මනමේ නාට්‍ය දෙක මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානාත්මක සනිටුහනක් තබන නාට්‍ය දෙකක්. නැත්නම් අවුරුදු පනස් ගණනක් එය පවතින්නේ නැහැ. දැන් එය පෙරටත් වඩා වර්ධනය කරගන්න ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ මගපෙන්වීම යටතේ සමත්ව තිබෙනවා.

පවුල් ජීවිතේ එහෙම කොහොමද?

හරිම සුන්දරව ගෙවී යනවා. පළමු දුව හම්බ වෙලා ලබන මාසෙට අවුරුදු පහක් වෙනවා. දෙවෙනි බබාට දැන් මාස 4යි. එයත් අපේ පවුලට එකතු වුණාම ගෙදර දැන් පිරිලා.

ගුරුවරයාගේ භූමිකාව එහෙම කොහොමද?

ගුරු භූමිකාවට හැකි තරම් සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මට හැකි හැම වෙලාවෙම පාසල් යනවා. ඒ එක්කම මගෙන් ඞී.එස්. සේනානායක විදුහලට ඉටුවිය යුතු යුතුකම් පාසලේදි මෙන්ම පිටතදිත් නොපැකිළිව සිදුකරනවා.

සටහන නිරෝෂාන් පේ‍්‍රමරත්න
ඡුායාරූප මිහිර බණ්ඩාර

     
<< පෙර
වැදුම් : 410 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.