අකාලයේ සමුගත් සොඳුරු ගීත රචකයා
ගේය පද රචනා කලාව වල් වැදී තිබෙනවා යැයි බොහෝ විවේචන එල්ල වන මේ සමයේදී අර්ථ රසයෙන් ඉහළ ගුණාත්මක ගීත සියයකට ආසන්න සාංඛ්‍යාවක් රචනා කළ 43 වියෙහි පසුවූ ආනන්ද හේවා රංහඳ පසුගියදා හදිසියේ ඇති වූ රෝගාබාධයක් නිසා සිය ජීවිතයෙන් සමුගත්තා.ජනප‍්‍රියත්වය පසුපස හඹා නොගිය නිහඬ කලාකරුවෙකු වූ ආනන්ද හේවා රංහිඳ දෙදරු පියෙකි. කලාව ව්‍යාපාරයක් කර නොගෙන ඊට නිසි තැන ලබාදෙමින් නිර්මාණ කාර්යයෙහි යෙදුණු මේ අපූර්ව නිර්මාණවේදියා පිළිබඳව ස්මරණය කරමින් මෙරට ප‍්‍රකට, ප‍්‍රවීණ ගේය පද රචකයෙකු වන බණ්ඩාර ඇහැලියගොඩ සිය හඬ අවදි කළේ මෙලසිනි.
”ආනන්ද හේවා රංහිඳ අපෙන් පසු පරපුරේ ගීත රචකයෙක්. ඔහු ඉතා කෙටි කලක් තුළ පළ කළේ ඇදහිය නොහැකි ප‍්‍රතිභාවක්. කුලරත්න ආරියවංශ සහ අමරසේන කංකානම්ගේ විසින් එළි පෙහෙළි කරගත් මගෙහි ගමන් කළ ඔහුගේ ප‍්‍රතිභාපූර්ණ ගී පද රචනාවක් මා මුලින්ම ඇහුවේ විශාරද එඞ්වඞ් ජයකොඩිගේ හඬින්. එ් ‘බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා...’ කියන ගීතයයි.
මේ ගීතය ආධුනිකයෙකු විසින් කරපු නිර්මාණයක් ලෙස අර්ථ දැක්විය නොහැකියි. රෝහලේ සිට සිය පුතු නිවසට කැඳවාගෙන ආ විට ඔහුගේ කෙස් අඩු හිස දැක ඇති වූ සංකල්පනාවක් තමයි මේ ගීතයට පාදක වී තිබෙන්නේ.
ඉන්පසු බොහෝ ගායක ගායිකාවන් උදෙසා ගීත රචනා කිරීමේ වරම ඔහුට හිමිවුණා. කොතෙක් කල් ගීත රචනයෙහි නියුතුව සිටියත් අප එතරම් කැමැත්තක් නොදක්වන තනුවට වචන යෙදීමේ කාර්යයේ දීද ආනන්ද මහත් ප‍්‍රතිභාවක් පළ කළා. රෝහණ වීරසිංහ, ජානක වික‍්‍රමසිංහ වෙනුවෙන් සාදා දුන් තනුව මැනවින් පිරික්සා බලා ඔහු ‘දෙව්රේ දිලෙනා’ කියන ගීතයේ වදන් මුතුපටක් සේ එකින් එක ඇමිණුවා. එම ගීය ශ‍්‍රවණය කරන කිසිවෙකුට එය වචන ගැට ගැසූ ගීයක් යැයි සිතා ගැනීම අපහසුයි. ජානක වික‍්‍රමසිංහයන්ම ගයන ‘පිරිත් පොතක් සේ...’, විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී ගයන ‘අහස නුඹ මෙතරම්’, නටාෂා පෙරේරා හා විශාරද එඞ්වඞ් ජයකොඩි ගයන ‘සුළඟක් වී’, නෙලූ අධිකාරි සහ කෞෂල්‍ය ගයන ‘අහසට සොඳුරුද සඳ මෙතරම්’ යන ගීත කිහිපය වුවත් ආනන්දගේ ප‍්‍රතිභාව කිරා මැන බැලීමට ප‍්‍රමාණවත්.”
හරසුන් ඕලාරි සිල්ලර පද ගීත රචනා ක්‍ෂේත‍්‍රයට එකතු කරන බොහෝ පිිරිස් අතර නව පරපුරෙන් මතු වී ආ ආනන්ද හේවා රංහිඳ යන්ට අප ආදරය කළේ එම ප‍්‍රතිභාව නිසයි. ඔහු වැන්නෙකු ඉතා කෙටි කලක් තුළ අප අතරින් වියෝවීම සැබෑ ගී අගය කරන අපටත්, ගීත රචනා ක්‍ෂේත‍්‍රයටත් සිදු වූ ඉමහත් පාඩුවක් බව සඳහන් කළ යුතුයි.
නිරෝෂාන් පේ‍්‍රමරත්න







