මහ මුහුද හෙළි කළ ඝාතනය
19 වසරකට එපිට අතීතයේ පෙබරවාරියේදී පත්තර මුල් පිටුවල ප‍්‍රධාන සිරස්තලය වූයේ ඔහු ය. මර්දනයේ කටු සැට්ටියෙන් පහර කා ඔත්පලව සිටි සමාජයක් -බියෙන් අත්මිදීමේ” ප‍්‍රාණවත් මිනිස් අරගලයට මුල පිරුවේ ඔහු නිසා ය. එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සමාජයේ -මාධ්‍ය නිදහස” පිළිබඳ කතිකාවේ මුල් අක්ෂරය බවට පත්වූයේ ඔහු ය.ඔහු රිචඞ් ද සොයිසා ය.
ඒ 1990 වසරේ පෙබරවාරි මස 19 වැනිදා ය. රක්ත වර්ණ ගිනි බෝලයක් මෙන් හිරු පල්ලම් බසිමින් සිටියේය. මොරටුව, කොරලවැල්ල දුම්රිය ස්ථානය අසළ වෙරළේ නතර කර තිබූ බෝට්ටුවට මාකස් ප‍්‍රනාන්දු පැමිණියේය. ඒ දිවා ආහාරයෙන් පසු අඩ පැයක පමණ කෙටි නින්දකින් පසුව ය. ඔහු සමග ඔහුගේ සොහොයුරු නිමල් ප‍්‍රනාන්දු ද සිටියේය. රළගෙඩි අතරේ නිරුවත් මිනිසකුගේ සිරුරක් පාවී යනු සොහොයුරෝ දුටුවහ.
ඒ වනවිට 1987න් ඇරැුඹි ’89න් නිමාවූ ධවල භීෂණයෙන් පසුව සමාජය සුපුරුදු නිස්කාංසුවේ ගිලෙමින් තිබූ සමයයි. 1987x89 අතර කාලයේදී මෙවැනි නිරුවත් මළ සිරුරු දෛනික දසුන් තරමට සුලභව තිබිණි. එහෙත් රට යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර ඇතැයි පැවැසූ යුගයකදී මෙවැනි මළ සිරුරක් නෙත ගැටීම ඒ වියරු සංහාරයේම දිගුවක් යැයි සිතන්නට හැකියාවක් නොවීය.
-කවුරු හරි මූදට පැනලා ඇති” දෙසොහොයුරෝ කතා කළහ. ඉනික්බිති ඔවුහු මළ සිරුර ගොඩට ගෙන ආහ. බෙහෙවින් ඉදිමී තිබූ මළ සිරුර හඳුනා ගැනීමේ හැකියාවක් නොවීය.
නාඳුනන මළ සිරුර පිළිබඳ ආරංචිය මොරටුව පොලීසියෙන් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම යැවිණි. වැලිකඩ පොලීසියෙන් ඒ ආරංචිය මනෝරාණි සරවනමුත්තු අම්මා වෙතට ගියේය. -නැහැ ... වෙන්න බෑ. ඒ පුතා නොවෙයි. මගේ පුතා හොඳින් ඉන්නවා කියලා ගාමිණි ෆොන්සේකා මහත්තයත් කිව්වා. අද පුතාව ගෙදර එවනවා කියලත් කිව්වා.” මනෝරාණි සරවනමුත්තු අම්මා කීවාය.
එහෙත් ඥාතීන්ගේ අදහස වූයේ මළ සිරුර බලන්නට යාම වඩාත් සුදුසු බවය. ගැහෙන හදින් යුතුව මනෝරාණි අම්මා කළුබෝවිල රෝහල වෙත ආවාය. විශේෂඥ වෛද්‍යවරියක වන මනෝරාණි අම්මාට රෝහල් භූමිය ආගන්තුක නැත.
මෘත ශරීරාගාරයේ දොර විවර විය! දස මසක් කුස දරා ගත රුහිරු කිරි කර පොවා වැඩූ ආදරණීය පුතණුවන් හඳුනා ගැනීමට ඒ අම්මාට අසීරු වූයේ නැත.
-අනේ මගේ පුතේ!” මනෝරාණි අම්මාගේ මරණීය විලාපය මිනිස්කම හඳුනන මිනිසුන්ගේ නෙතට කඳුළක් නගමින් පැතිර ගියේය.
කොරළවැල්ල මුහුදු වෙරළින් සොයා ගැනුණේ රිචඞ් ද සොයිසා ගේ මළ සිරුරය.
පශ්චාත් මරණ පරීක්ෂණය නොපමාව පැවැත්විණි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. නඬේසන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය. ගෙල හා වම් කන අසළට වැදුණු රයිෆල් වෙඩි උණ්ඩ දෙකක් නිසා ක්ෂණිකව මරණය සිදුවී ඇතැයි එහිදී නිගමනය කෙරිණි. වම් කම්මුලේ කනට මදක් පහළින් වැදුණු එක් රයිෆල් උණ්ඩයක් කන් අඩිය පසාරු කරගෙන ගොස් තිබූ අතර බෙල්ලේ ඉදිරි පසින් වැදුණු අනෙක් උණ්ඩය බෙල්ල හරහා ගොස් පසුපසින් පිටව ගොස් තිබුණි.
ඒ අනුව මහ මගදී වෙඩි තබා මළ සිරුර මුහුදට විසිකර ඇති බව පැහැදිලිය.
රිචඞ් ද සොයිසා එසේ මරා දැම්මේ ඇයි? රිචඞ් සොයිසා එසේ මරා දැම්මේ කවුද? ඒ ප‍්‍රශ්න දෙකට පිළිතුරු සොයාගැනීමට නම් රිචඞ් ද සොයිසා කවුරුන්ද යන්න සොයා ගත යුතුය.
සිංහල සමාජය රිචඞ් ද සොයිසා හඳුනා ගත්තේ ප‍්‍රතිභාපූර්ණ රංගධරයකු ලෙසය. චිත‍්‍රපට ගණනාවක චරිත නිරූපණය කළ ද යශෝරාවය ටෙලි නාට්‍යයෙන් ඔහු රසිකයා තුළ මතකයක් බවට පත්විය. ඉංගී‍්‍රසි නාට්‍ය වේදිකාවල අවිවේකී චරිතයක් වූ ඔහු රූපවාහිනී ඉංගී‍්‍රසි ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක් විය. සැපවත් ඉහළ මධ්‍යම පාංතික ජීවිතයකට උරුම කීවද මං මාවත්වල, ළඳු කැලෑවල ටයර් සෑ මත දැවෙමින් ජාතියට අහිමි වන තරුණ ¥ පුතුන් පිළිබඳ උපන් වියෝග සංවේගයෙන් ඔහු පෙළුණේය. මනුෂ්‍ය ජීවිතයට උරුම ගරුත්වය සොයා ගිය ඒ වෙනුවෙන් මරණයේ මාවත වුව තෝරා ගැනීමට නිර්භය වූ සුළුතරයක් අතර රිචඞ් ද සොයිසා ඉදිරියෙන් සිටියේය.
ඔහු ඉතාලියේ -ඉන්ටර් ප්‍රෙස් සර්විස්” ප‍්‍රවෘත්ති ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා විය. අළුමතින් නැගී සිටීමට වෙර දරන පරම්පරාවට ආදරය කළ ඔහු රටපුරා සිදුවන ජන සංහාරය පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කළේය. නිවට බව වීරකමක් බවට පෙරැුලී නිර්භයවීම මරණයට හේතුවක් වූ ශාපලත් සමාජ පරිසරය වෙනස් කිරීම සඳහා ඔහු -මේ කවුද මොනවද කරන්නේ?” නමින් වේදිකා නාට්‍යයක් ද ලීවේය. මේ කවුද මොනවද කරන්නේ යන්න පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පූර්ව මැතිවරණ පෝස්ටරය විය.
රිචඞ් ලියූ නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම බාරගත්තේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර ලක්ෂ්මන් පෙරේරා ය. එහෙත් ඔහුට නාට්‍යය නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබුණේ නැත. අවිගත් මැර පිරිසක් ඔහු පැහැරගෙන ගියහ. ඔහු තවමත් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ අංකයකි.
එහෙත් රිචඞ් බියවූයේ නැත. දීප්තිමත් දෙනෙතක් හිමි මේ අපූරු නාට්‍යකරුවා යුගයේ වගකීමට නොබියව උර දුන්නේය.
1990 වසරේ පෙබරවාරි 18 වැනිදා අළුයම 2.30ට පමණ රාජගිරිය, වැලිකඩ පිහිටි රිචඞ් ගේ නිවසේ ඉදිරිපිට පොලිස් ජීප් රියක් නතර විය. කොළ පැහැති ජීප් රියේ 32 ශ්‍රී 4748 අංකය පැහැදිලිව දැක්වෙමින් තිබිණි. මෙම නිවසට ඒමට පෙර පොලිස් ජීප් රිය නතර වූයේ ජාතික රූපවාහිනියේ ප‍්‍රසිද්ධ ප‍්‍රවෘත්ති නිවේදිකාවකගේ නිවස ඉදිරිපිටය.
-රිචඞ් ද සොයිසාගේ නිවසට යන්නේ කොහොමද?” පොලිස් ප‍්‍රධානියා නිවේදිකාවගෙන් විමසුවාය.
-මම දන්නේ නෑ” ඇය කීවාය.
-එහෙනම් රිචඞ්ගේ යාළුවකුගේ නොම්බරයක් හරි දෙන්න” පොලිස් ප‍්‍රධානියාගේ ඉල්ලීමට අවනතව ඇය නොම්මරයක් ලියා දුන්නාය.
ඒ ඔස්සේ මග විමසා දැනගෙන රිචඞ්ගේ නිවසට එනවිට අළුයම 2.30 පමණ වී තිබිණි.
-දොර අරින්න! ගේ සර්ච් කරන්න ඕනෑ” පොලිස් ප‍්‍රධානියා දොරට තඩි බාමින් කීවේය. ගේට්ටුවේ ඉබි යතුරු දා තිබූ අතර පොලිස් පිරිස මිදුලට පැමිණ තිබුණේ තාප්පයෙන් පනිමිනි.
-ඔය ගොල්ලෝ කවුද?” මනෝරාණි අම්මා ඇසුවාය. ඒ ප‍්‍රශ්නය 1987 වසරේ සිට මවුබිමේ සිය දහසක් අම්මාවරුන්ගෙන් පිටවූ ප‍්‍රශ්නයම වේ.
-අපි පොලීසියෙන්” ඒ ප‍්‍රධානියාගේ පිළිතුරය. -අයිඩෙන්ටිටි කාඞ් දෙන්න” මනෝරාණි අම්මා ඉල්ලා සිටියාය.
-නාස්ති කරන්න කාලයක් ඉතිරිවෙලා නෑ. දොර නෑරියොත් වෙඩි තියනවා” එය අනතුරු ඇඟවීමකි.
ගිනි අවි දිලිසෙන අයුරු වා කවුළුවේ වීදුරුවෙන් මනෝරාණි අම්මා දුටුවාය.
ඇය දොර ඇරියාය.
-කීප දෙනෙක් මගේ කාමරයට ගිහින් සෝදිසි කළා. අනෙක් අය රිචඞ් ගේ කාමරයට ගිහින් පුතාව පිටතට රැුගෙන ආවා.” පුතාට පහළට එන්න කියලා ඔවුන් කිව්වා. පුතා ඔවුන්ට කිව්වා- පහළට යන්න ඕන නෑ. මෙතැනදි ප‍්‍රශ්න කරන්න කියලා. එහෙම කිව්වට පස්සේ ඔවුන් මගේ පුතා පහළට ඇදගෙන ගියා.” මනෝරාණි සරවනමුත්තු අම්මා මරණ පරීක්ෂණයේදී එසේ කීවාය.
-පහළට රැුගෙන ගිය මගේ පුතා සරම පිටින්ම ජීප් එකට නංවා ගත්තා. ඊට පස්සේ ජීප් එක ගියා. මගේ පුතා රැුගෙන යන්න ආපු අයගෙන් දෙන්නෙක් මම අඳුරනවා.” මනෝරාණි අම්මා වැඩි දුරටත් කීවාය.
පුතු රැුගෙන යාමෙන් කම්පනයට පත් අම්මා මොහොතක් ඔහේ බලා සිටියාය. අනතුරුව පවුලේ හිතවතෙකු වූ ගාමිණී ෆොන්සේකා මහතාට සිද්ධිය දැනුම් දුන්නේය. ඔහු එජාප ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක විය.
-බය වෙන්න එපා .... මම හොයලා බලලා කියන්නම්” ගාමිණී ෆොන්සේකා මහතා කීවේය.
කාලය ඉබි ගමනින් ගෙවී ගියේය. දුරකථනය නාද විය. එහා කෙළවරේ ගාමිණී ෆොන්සේකා මහතා සිටියේය.
-පුතා ඉන්නවා ... මට කිව්වා කිසිම කරදරයක් කරන්නේ නැ කියලා. කට උත්තරයක් අරගෙන හෙට උදේ එවාවි.”
ඒ උත්තරය මනෝරාණි අම්මාට දිවමන් වැකියක් බඳුය. එහෙත් එසේ කී පරිදි රිචඞ් සොයිසා ගෙදර ආවේ නැත. පසුදා රාති‍්‍ර 8.30ට පමණ වැලිකඩ පොලීසියෙන් ජීප් රියක් නිවසට ආවේය.
-බොඩි එකක් කළුබෝවිල රෝහලේ තියෙනවා. පුතා ද කියලා බලන්න යමු” පොලීසියෙන් කීවේය.
විශ්වාසයකින් තොරව වුවද අම්මා ඒ ගමනට සම්බන්ධ වූවාය. කළුබෝවිල මෘත ශරීරාගාරයේදී ඇය තම ආදරණීය පුතු හඳුනා ගත්තාය.
දිරි බල සම්පන්න මවක වූ මනෝරාණි සරවනමුත්තු ¥ පුතුන් අහිමි වූ මව්වරුන් වෙනුවෙන් මවු පෙරමුණ හදමින් පුතා තැනූ සටන් බිමේ ගිනි සිළක් සේ දැල්වෙන්නට පටන් ගත්තාය. එමෙන්ම පුතුගේ ඝාතකයන්ට එරෙහිව ඇය අධිකරණයට ද ගියාය. දේශපාලන බලවතුන් ඇසුරේ සුරතලකු වීම ජීවිතයේ ලද මහඟුම දායාදය යැයි සැලකූ පොලිස් නිලධාරීන්ට ප‍්‍රමාණවත් මට්ටමින් නීතිය කි‍්‍රයාත්මක වූයේ නැත. එහෙත් සොබා දහම ඒ වියරුවට එරෙහිව නැගී සිටියේය. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඉලක්ක කරමින් මැයි පළමුදාවක ආමර් වීදියේ පුපුරා ගිය බෝම්බයෙන් පසු ... ඉනික්බිති ... ඒ කළුවන් ඝණැති දුම් රොටුව පහව ගිය පසු දක්නට ලැබුණේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා අසළම මහ මග මියගොස් සිටි රිචඞ් සොයිසා පැහැර ගෙන ගිය බවට ඒ අම්මා හඳුනාගත් පොලිස් පිරිසේ ප‍්‍රධානියා ය. සෙසු විත්තිකරුවන්ට එරෙහි නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
සටහන
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්







