2010 මාර්තු මස 9 වැනිදා අඟහරුවාදා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


මුල්ගිරිගල ආසනයට රළුවේ රාළහාමි


ජේ.ආර්ගේ මිරිස්ස බංගලාවේ ආඬි හත්දෙනාගේ කැඳහැලිය - 3

පසුගිය සතියේ දිනක, මේ ලියුම්කරුට පාර්ලිමේන්තුවේ හිටපු මහා ලේකම් සෑම් විජේසිංහ මහතා මුණගැසීමට ඔහු පදිංචි කොළඹ, කොල්ලූපිටියේ, ලක්මහල් නිවසට ගොස්, දෙපැයක් පමණ වූ කාලයක් තුළ දේශපාලනය, පැරණි නඩු වාර්තා සහ ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් ගැන, සාකච්ඡුාවක යෙදීමට ලැබිණි.

ජේ.ආර්. ජයවර්ධන මහතා පිළිබඳව ඔබ දරන අදහස කුමක් දැයි, දිවා ආහාරයට පසූ කෑම මේසයෙහි දී කළ පිළිසඳර අතරතුරෙදී, මම සෑම් විජේසිංහ මහතා ගෙන් ඇසුවෙමි.

අනාගත ඉතිහාසකාරයෙකු සඳහන් කළත් නොකළත් ජේ.ආර්. කළ යම් වරදක් තියෙනවා. එය තමයි සිරිමා බණ්ඩාරනායක මහත්මියට ප‍්‍රජා අයිතිය අහිමි කිරීම, එයින් ලංකාවේ දේශපාලන ගමන් මඟ වෙනස් වුණා, යයි සෑම් විජේසිංහ මහතාගෙන් ප‍්‍රකාශ විය. එය විධිමත් පර්යේෂණ දසහක් පැවැත් විය යුතු අදහසක් යැයි එවිට මට කල්පනා විය.

ලංකවේ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීම සඳහා බොහෝ අත්හදා බැලීම් කළ ජේ.ආර්. ජයවර්ධන මහතා කැමැත්තෙන් කරන ලද පැදුරු පාටි වේදිකා දේශපාලනයට ද යම් දර්ශනයක් තිබිණි.

ගිරිවාපත්තුවේ ගොඩමඩ ඉඩම් හිමියෙක් වූ රළුවේ, තෝමරත්න දොන් ප‍්‍රෑන්සිස්කු මහතා වැනි අවංක පරිත්‍යාගශීලි සැබෑ ගොවියෙක් ජෝර්ප් රාජපක්‍ෂ මහතා වැනි රාජකීය විද්‍යාලයෙන් උසස් ලෙස ඉගෙනුම ලැබූ අධිනීතිිඥවරයෙක් සමඟ තරග කිරීමට තෝරා ගැනීමද ජේ.ආර්. ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේහි කළ අත්හදා බැලීමකි.

අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා විසින් පත් කරන ලද ඡුන්ද කොට්ඨාස සීමා මායිම් නිර්ණය කිරීමේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම කළ නිර්දේශයට අනුව මුල්ගිරිගල යනුවෙන් නව ඡුන්ද කොට්ඨසයක් හම්බන්තොට. දිස්ති‍්‍රක්කයට ලැබිණී.

කි‍්‍ර:ව: 1960 මාර්තු මහ මැතිවරණයේදී තංගල්ල හා වලස්මුල්ල අධිකරණයන් හි පෙනී සිටි පැරණි පළපුරුදු නීතිඥයෙක් වූ චන්ද්‍රදාස අතපත්තු එක්සත් ජාතික පක්‍ෂයෙන් මුල්ගිරිගල අලූත් ආසනයට ඉදිරිපත් කළ නමුත් ඔහුට ජෝර්ජ් රාජපක්‍ෂ මහතා පැරදවීමට නොහැකි විය.

එම පරාදයත් සමඟම චන්ද්‍රදාස අතපත්තු මැතිවරණ තරග කිරීමෙන් ද ඉවත් විය. මුල්ගිරිගල ආසනය තරග කිරීම සඳහා නොසිඳෙන ශක්තියක් ඇති අයෙකු එක්සත් ජාතික පක්‍ෂය සොයමින් සිටියේය.

මන්ද, ජෝර්ජ් රාජපක්‍ෂ මහතා වැනි දක්‍ෂ විචක්ෂණ, චතුර, ජනපි‍්‍රය අධිනීතිඥ තරුණ අපේක්‍ෂකයෙකු සමඟ තරග කිරීමට සමතෙකු රුහුණේ ඇටුවම් බැහැපු යු.එන්.පී. පවුල්වල නොසිටීමයි. තංගල්ලේ නීතිඥ ඞී.පී. අතපත්තු මහතා කි‍්‍ර:ව: 1947 සිටම ඞී.ඒ. රාජපක්‍ෂ මහතාට දිගටම පැරදුණ නමුත් ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙහි පැරණිම සාමාජිකයෙකු වූයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අනුගාමිකයෙකුව සිටියේය.

දකුණු පළාතෙහි දේශපාලන කටයුතු සඳහා මිරිස්ස බංගලාවට පැමිණෙන ජේ.ආර්. ජයවර්ධන මහතාට මුල්ගිරිගල ආසනය සඳහා ජෝර්ජ රාජපක්‍ෂ මහතා සමඟ තරඟ කළ හැකි ගිරිවාපත්තුවෙහි දේශපාලන පිටියෙහි කරනම් ගැසිය හැකි ජවසම්පන්න ගමේ ශූරයෙකු සොයා ගැනීම වහාම කළ යුතුව තිබිණි.

ඞී.සී.පී. අමරසේකර, මුල සිටම උපන් යු.එන්.පී. කාරයෙක් මෙන්ම, මාතර, සහ හම්බන්තොට දෙදිසාවම දන්නා ඉඩම් හිමි ප‍්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙහි පැරණි කෘත්‍යධිකාරි සාමාජිකයෙකුද විය.

තංගල්ලේ නීතිඥ ඞී.පී. අතපත්තුට අයත් වූ මැනුම්වත්ත නම් සූවිශාල පොල් වත්තක් මැදමුලන සහ රළුව යන ගම් දෙක මැද තිබිණි. ඉඳහිට තමාගේ වත්තට යන ඞී.පී. අතපත්තු හැම මැතිවරණයක දීම, තමා පරදවන ඞී.ඒ. රාජපක්‍ෂ මහතාගේ මැදමුලන නිවසට නොයන නමුත්, රළුවේ තෝමරත්න දොන් ප‍්‍රෑන්සිස්කුගේ ගෙදරට යෑම ඒම කළේය.

ඞී.පී. අතපත්තුගේ මැනුම්වත්ත ගමේ දුප්පතුන්ට බෙදා දෙනවා යැයි මැතිවරණ රැුස්වීමක දී ජෝර්ජ් රාජපක්‍ෂ කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක්ද අතපත්තු මහතා දැන සිටියේය. ජෝර්ජ් මුල්ගිරිගලින් පරාද කළහැකි අයෙකු ඞී.පී. අතපත්තුටද අවශ්‍ය විය.

රළුවේ රාළහාමි යයි ගිරිවායෙහි පොදු මහජනයා විසින් හඳුන්වන ලද ටී.ඞී. ප‍්‍රැන්සිස්කු නොහොත් තෝමරත්න දොන්. ප‍්‍රෑන්සිස්කු ජේ.ආර්. ජයවර්ධන මහතා මුණගැස්වීමට මිරිස්ස බංගලාව වෙත කැඳවාගෙන ගියේද ඞී.පී. අතපත්තු මහතාය.

ආ... ප‍්‍රැන්සිස්කො මං අන්දමින්ම සුදු සරමයි බැණියමයි අඳින ගිරුවායේ ගමේ රාළහාමි. මේ අතපත්තු මට කියන්නේ තමාට ජෝර්ජ් රාපක්‍ෂ පරාජය කොරාන්න පුළුවන් කියලයි.

ජෝර්ජ් මහා අමාරුකාරයා, දක්‍ෂයා, ඞී.එම්. රාජපක්‍ෂගේ පුතා, දන්නවනේ උසාවියෙත්, හොඳ දක්ෂ කථිකයෙක්. මිනිහා මුල්ගිරිගල ආසනේ රවුං දෙකක් යනවා, කඩ පිල්වල ඉන්න මනුස්සයෝ එක්ක බංකුවේ වාඩිවෙලා කහට තේ එක බෙදං බීලා, හේන් වාඩිවලට ගිහිං කොස්, බතල, තලප, පිට්ටු කාලා වීරකැටියේ, මිද්දෙණිය, කටුවන, කිරම, වලස්මුල්ල, රැුස්විම් පහක් තියලා යූ.එන්.පී.යට බැන්නාම ආසනේ දිනුම්.

ප‍්‍රෑන්සිස්කුට එහෙම කොරාන්න බැහැනේ. නමුත් තමුං දිනන්න  ඕන. ජේ.ආර්. ජයවර්ධන මහතා, ප‍්‍රෑන්සිස්කු රාළහාමිට මිරිස්ස බංගලාවේ දී කීය. මොකොද කියන්නෙ. මුල්ගිරිගල තරගකරන්න මනාපයි. පැරුදුනාට කමක් නෑ. ජෝර්ජ්ට හොඳ සටනක් දුන්නාම හොඳයි. ජේ.ආර්. කීවේය.

ඒක මං කොරන්නං. ජෝර්ජ් රාජපක්‍ෂ මගේ නෑදෑයෙක්. එයා උගත් මං නං දන්නේ ඉඩම් වගාකිරිල්ල. මං වසවර්තියටවත් බය නෑ. ගමේ මනුස්සයෝ මං එක්ක සොංකදොරු නෑ. මේ ගිරුවායේ කොරන්නේ බත් මූණෙන් ඇත් මූණ බිඳින වැඬේනේ. මමත්, ඒ වැඬේ කොරන්නං.

ඒ කීව්වේ සර්, රාජපක්‍ෂලා හැමදාම කොළෙ එන යන මනුස්සයින්ට කන්න දෙන එකනේ. ඒ වැඬේ පටන් ගත්තේ බෙලිගල්ලේ මහ හාමිනේ. ඞී.එම්. සහ ඞී.ඒ. රාජපක්‍ෂ සහෝදරයින්ගේ මෑණියෝ බෙලිගල්ලේ ගමේ උපන්න හොඳ වැදගත් ගුණයහපත් තැනැත්තියක්.

වී, හාල් තිබුණා, කිරි පැණි තිබුණා, යන එන අයට හොඳින් කන්න දුන්නා. සමහර උදවියගේ වලව්වවලට ගියාම බොන්න වතුර ඩිංගක් නෑ. රාජපක්‍ෂලා එන යන්නන්ට හොඳින් කෑම බීම දෙනවා. අද වුණත් එහෙමයි. කොන්දගල මැදමුලනේ ගෙවල් දෙකෙන් නොකාපූ කෙනෙක් අපේ ගිරුවායේ නෑ.

මේ අතපත්තු මහත්මයා හැමදාම පරාදයි. ඞී.ඒ. රාජපක්‍ෂ මහත්මයා දිගටම දිනන්නේ බත් මූණෙන්, ඇත් මූණ බිඳින්න පුළුවන් හින්දනේ. ප‍්‍රෑන්සිස්කු කියන විට ජේ.ආර්. ජයවර්ධන කීවේ ඉතිං ප‍්‍රැන්සිස්කොටත් වී, හාල් තියෙනවා කියන්නේ. හාල් අමුණු කනක්කු තම්බලා දීලා හරි ජෝර්ජ් එක්ක තරගෙ කොරාන්න.

අද පටන් දාන පාරමිතාව පටන් ගන්න. මං වුණත් දෙන්න පුළුවන් ඔක්කොම දෙනවා. දෙන එක දෙලොවටම හොඳයි. ජේ.ආර්. ජයවර්ධන මහතා රළුවේ රාළහාමි අමතා කීවේය.

එය එසේම සිදුවිය. ජෝර්ජ් රාජපක්‍ෂ මහතා මිය යන තුරුම ටී.ඞී. ප‍්‍රැන්සිස්කු මැතිවරණවලට ඉදිරිපත් උනත් ඔහුට ජෝර්ජ් පැරදවීමට නොහැකිි විය. මැතිවරණ වලදී දන්සැල් දෙන පරිදි යන එන අයට කෑම දී දාන පාරමිතාව පිරුවේය. 1977දී ඔහු ද දිනූවේය.

(මීළඟට ඇට අටක් දෙන කතාවේ ඇතුලත කථා පුවත)

සටහන
විජේසිංහ බෙලිගල්ල

 

     
<< පෙර
වැදුම් : 108 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.