"කැලෑ කූමරි" උපදියි
අරන්කැලේ සිටියදී ධර්මදාස, අන්දිරිස් යොදා ගත්තේ තමන්ට අවශ්‍ය බඩුමුට්ටු, පාන්, කලටිපොල් ආදිය ගෙන්වා ගැනීම සඳහා ය. මේ අවශ්‍ය දෑ ගෙන්වා ගැනීම සඳහා එකල යා යුතුව තිබුණේ සැතපුම් 5ක් පමණ මග ගෙවා හිරිපිටියට ය. බඩු ගැනීමෙන් පසු ඉතිරි මුදල් ධර්මදාසට දුන්නත් ඒවා ආපසු නොගැනීම ඔහුගේ සිරිත විය. නැතිබැරි අයට උදවු උපකාර කිරීමට ධර්මදාස කැමැතිය. නිතර නිතර පොලීසියෙන් පැමිණීම නිසා අරන්කැලේ සිටීම ධර්මදාසගේ ආරක්ෂාවට තර්ජනයක් විය. ඉන්පසු ධර්මදාස ගියේ කුඹුක්ගැටේ අසළ පිහිටි ”දෙමලමානේ” නම් ගමටයි. එහි ගිය ඔහු කරුපයියා හෙවත් කරුපා නමැත්තකුගේ ගෙයි සැඟවී සිටියේය. මේ අතර කිසිවකුත් බලාපොරොත්තු නොවූ එක්තරා සිදුවීමකින් ප‍්‍රදේශය කැළඹී ගියේය.කරුපා ළඟ බලපත් නොමැති තුවක්කුවක් ඇතැයි වැල්ලව පොලිසියට ඔත්තුවක් ලැබිණ. මෙම ඔත්තුව ධර්මදාස එහි සැඟවී ඇතැයි කෙළින්ම නොකියා කළ උපක‍්‍රමයක් දැයි සැක සිතේ. මේ ගැන පරීක්ෂා කිරීමට වැල්ලව පොලිසියේ රාළහාමි කෙනෙක් නිකදළුපොත වසම භාරව සිටි මුස්ලිම් ගම්මුලාදෑනියා ද සමග කරුපාගේ නිවසට ගොස් රාළහාමි ගෙට ඇතුළු විය. ගේ තුළ සිටි ධර්මදාසට කර කියා ගැනීමට කිසිවක් නොවූයෙන් පොලිස් රාළහාමිට වෙඩි තැබීය. රාළහාමි එතැනම ඇද වැටුණි. පසුපස නොබලා දුවන ගම්මුලාදෑනියාට අනෙක් වෙඩිල්ල තැබීය. එම වෙඩිල්ලෙන් ගම්මුලාදෑනියාගේ එක් කණක් කැඞී ගියේය. මේ සිද්ධියෙන් පසු ගම්මුලාදෑනියා තම රාජකාරියෙන් ඉල්ලා අස්වූ බව කියැවේ.
මේ සිද්ධියෙන් පසු ධර්මදාස පැනගියේ පොල්පිතිගම අසල පල්ලේ කැලයටයි. ධර්මදාස විවිධ අපරාධ කරමින් නිදැල්ලේ සිටීම පොලිසියට මහත් ගැටලූවක් විය.
පල්ලේකැලේට පැනගිය ධර්මදාසගේ මැරකම් එතනින් නොනැවතිණ. ඔහු පල්ලේකැලේ අසල ගමක සිටි එක්තරා තරුණියක් සමග හාද වී ඇය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ කඳුගැටයක් වූ ගොමදිය ගල පර්වතයේ ලෙනක නතර කර ගෙන සිටියේය. මේ ලෙනට ඇතළුවීම හා පිටවීම ඉතා දුෂ්කර විය. තරුණියගේ අතුරුදන්වීම පිළිබඳව මව්පියන් පොලීසියට දැන්වූවත් එයින් පලක් නොවීය. මෙසේ මාස තුනක් පමණ ගෙවී ගියත් කිසිම හෝඩුවාවක් නොවූයෙන් ඇය මිය යන්නට ඇතැයි සිතූ මව්පියෝ තුන් මාසයේ දානය ද දී අවසන් කළහ.
මේ වනවිට තරුණියගේ කුස දරුවක පිළිසිඳ තිබුණි. තමාට ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන ගැටලූ හා දුෂ්කරතා පිළිබඳ ඇය කල්පනා කරන්නට වූවාය. ධර්මදාසගේ දින චරියාව වූයේ රාති‍්‍ර කාලයේ ඇය ගල් ගුහාවේ තනිකර දමා සොරකමේ යාමයි.
ඔහු ගල් ගුහාවෙන් පිටවූ එක් දිනක ඇය සිතට ධෛර්යය ගෙන ගුහාවෙන් බැස ඇළ පාරක් දිගේ ගමන් කර තම නිවස සොයාගෙන පැමිණියාය. මව්පියෝ ඇය බාරගෙන පෝෂණය කළහ. කුරුණෑගල රෝහලේදී ඇයට ලැබුණේ ලස්සන ගැහැණු දරුවෙකි. රෝහල මගින් ඇයට තැබුවේ ”කැලෑකුමාරි” යන නමයි.
ධර්මදාස ගොමදියගල සැඟවී සිටින බව දැනගත් ගොකරැුල්ල පොලිසියේ ස්ථානාධිපති කරෝලිස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ගොමදියගල ගල්ලෙන වටකළත් ධර්මදාස පැන ගියේය. පොලිසිය එහි තිබූ බඩු සියල්ල බරබාගයක පටවාගෙන ගොස් වාර්තාවක් ද සමග උසාවියට ඉදිරිපත් කළේය.
ධර්මදාසගේ කි‍්‍රයාපටිපාටිය මේ වනවිට පොලිසියට මහත් හිසරදයක් විය. පොලිස්පතිතුමා කුරුණෑගල පොලිස් අධිකාරීගෙන් ද, පොලිස් අධිකාරිතුමා ගොකරැුල්ලේ පොලිස් ස්ථානාධිපති තුමාගෙන් ද නිතර නිතර අසා සිටියේ ධර්මදාස අත්අඩංගුවට ගැනීම මෙතෙක් ප‍්‍රමාදවීම පිළිබඳවය. මින්පසු කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි හේරත් මහතා 20 දෙනකුගෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තෝරාගෙන කොණ්ඩා, රැුවුල් වඩවා යාචකයන්, කම්කරුවන්, වෙළෙන්දන්, ආදි වශයෙන් වෙස්ගන්වා දෙන්නා බැගින් ධර්මදාස අල්ලා මිස ආපසු නොඑන ලෙස දන්වා ඒ ඒ ප‍්‍රදේශවලට පිටත්කර හැරියේය. නිකවැරටිය, පුත්තලම, අනුරාධපුරය, මිහින්තලේ, තලාව, ආණමඩුව, අඹන්පොල, මොරගොල්ලාගම යන ප‍්‍රදේශ ආවරණය වන ලෙස මෙහෙයුම දියත් කළේය.
දිනක් සුගතපාල රාළහාමි සහ හලංගොඩ රාළහාමි යන දෙදෙන විජිතපුර ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටියදී අඳුරු වැටෙන විට පැමිණියේ විජිතපුර පන්සල වෙතය. එහි සිටි නායක හාමුදුරුවන් හමුවී තමන් වන්දනාවේ යන දෙදෙනකු බවත් අද රාති‍්‍රයට නතරවීම සඳහා පන්සලට ආ බවත් දන්වා සිටියේය. හාමුදුරුවන් එවිට කියා සිටියේ ධර්මදාස නම්වූ හොරෙක් විටින් විට මෙහි පැමිණෙන බවත් මෙහි නතරවී සිටීම අනතුරුදායක බවත්ය. අවශ්‍ය නම් එහා බණමඩුවේ නිදා ගන්නා ලෙසත් හාමුදුරුවෝ දන්වා සිටියහ. ඒ අවසරය මත රාළහාමිලා දෙදෙනා බණමඩුවේ කෙළවරක පත‍්‍ර කෑලි ටිකක් එලා නිදාගත්හ. වෙහෙස නිසා හොඳින් නින්ද ගියත් රාති‍්‍ර 3ට පමණ ඇහැරී බලන විට තුවක්කුවක් ඇතැතිව කොට බිත්තිය මත වාඩිවී සිටින කෙනෙක් මද සඳ එළියෙන් සුගතපාල රාළහාමිට පෙණින. ඔය කවුදැයි සුගතපාල රාළහාමි ප‍්‍රශ්න කළ විට ඔබලා හාමුදුරුවන්ගෙන් අවසරගෙන ද මෙහි නතරවුණේ යැයි හොරා ප‍්‍රශ්න කළේය. අවසරගෙන යයි සුගතපාල රාළහාමි දැන්වූවිට ඔහු ඉවතට ගියේය. තමන් සොයන තැනැත්තා අතටම අසු වුවත් වේලාවත් තැනත් ගැන කල්පනා කර බුද්ධිය මෙහෙයවා එම මහඟු අවස්ථාව අත හැරීමට රාළහාමිට සිදුවිය.
ගොමදියගල ගල් ගුහාවෙන් පිටත්වූ ධර්මදාස ටික කලකට පසු යළිත් පල්ලේකැලේට ඇදුණේ හුදකලාව තිබූ අප්පුහාමි නමැත්තකුගේ කටුමැටි නිවසටයි. තම භාර්යාව හා දරු දෙදෙනා ද සමග ජීවත්වූ අප්පුහාමිගේ පවුල ධර්මදාසගේ පැමිණීමෙන් මහත් අසහනයකට පත්විය. අප්පුහාමිගේ භාර්යාවට ධර්මදාසගෙන් කරදර ඇතිවිය. මේ කරදර ගැන අප්පුහාමි විසින් තමන්ගේ ඥාතිවරයකු වූ කාගම ගොවිජනපදයේ අලූත් වැවේ විසූ වෙද මහතාට දන්වා සිටින ලදී. මේ වනවිට වෙස් වළාගෙන පැමිණි කරුණාරත්න හා ප‍්‍රනාන්දු යන පොලිස් නිලධාරීන් දෙදෙනා වෙද මහතාගෙන් බෙහෙත් ගැනීමට යයි කියා පැමිණ තොරතුරු කතා කොට දෙපක්ෂය පැහැදී තමන් රහස් පොලිසියෙන් යයි සත්‍ය හෙළි කළහ. වෙද මහතා ද පැහැදී ධර්මදාසගෙන් අප්පුහාමිගේ පවුලට සිදුවී ඇති කරදර ගැන මතක් කර දුන්නේය.
ධර්මදාස ඇල්ලීමට පොලීසියෙන් යාම අනතුරුදායක බවත්, ඔහු ඝාතනය කිරීම අප්පුහාමි ලවාම කරවිය යුතු බවටත් වෙද මහතා සහ පොලිස් නිලධාරීහු ද ඒකමතික තීරණයකට පැමිණියහ. මේ ගැන අප්පුහාමි සමග ද සාකච්ඡුා කර ධර්මදාස ඝාතනය කිරීම අප්පුහාමි කළත් එහි සම්පූර්ණ වගකීම පොලීසිය භාරගන්නා බවටත් සපථ කර ගන්නා ලදී.
මේ කාලය වනවිට රජයෙන් ද ධර්මදාස අල්ලා දුන් කෙනෙකුට රුපියල් 2000/=ක ත්‍යාගයක් පිරිනමන බවටත්, ධර්මදාසගේ ඡුායාරූප දෙකකින් එකක් ඉදිරියට මුහුණලා සිටින සේද, අනෙක පැත්තකට මුහුණලා සිටින සේද මුද්‍රණය කළ දැන්වීම් පති‍්‍රකා ජනයා ගැවසෙන ස්ථානවල ප‍්‍රසිද්ධ කර තිබුණි. කවිකොළ කලාව ද මෙකල ජනපි‍්‍රයව තිබුණි. ඒ කාලයේ පළවූ එක්තරා කවිකොළයක තිබූ කවි දෙපදයක් මෙසේය.
පල්ලෙ කැලේ විසු අප්පුහාමිගේ ගෙදරට ඉඳ හිටලා රහසින් පිල්ලි යකෙක් වැනි තරුණක් එන්නයි කවුද කියා නොදනිතිය බොලන්
කාලය මෙසේ ගතවිය. දිනක් අප්පුහාමි දින කීපයකින් තමන් ආපසු එන බවත් දඩයම් කර ගෙයි ඇති මස් ඌරුමස් නොවන බවත්, ධර්මදාස පැමිණි විට ඒවා පිළියෙළ කර දෙන ලෙසත් තම භාර්යාවට කියා නිවසින් පිටව ගියේය.
ධර්මදාසට කොණ්ඩදෙණියෙන් ලබා දී ඇති අඳුණේ බලය ඌරු මස් කෑමෙන් බිඳෙන බව ධර්මදාස දනී. ඌරුමස් උයා තිබුණේ තෙල් සහිත තද කොටස ඉවත් කිරීමෙන් පසුවය. ධර්මදාස පැමිණිවිට අප්පුහාමිගේ බිරිඳ කෑම බෙදා දුනි. මස් පිළිබඳව ඔහු විමසූ විට වෙන මසක් බව පැවැසූ හෙයින් ඔහු ආහාර ගත්තේය. ධර්මදාසගේ සිරිත වාඩිවී ආහාර නොගැනීමයි. ඔහු ආහාර ගත්තේ ගේ තුළ ඇවිදිමින්ය.
මේ අතර තම නිවස අසල අකුලේ සැඟවී සිටි අප්පුහාමිට විවෘත කළ ජනේලයෙන් ධර්මදාස ඌරු මස් සහිත ආහාරය බුදිමින් සිටින බව පැහැදිලිව පෙනුණි. මේ අතර අප්පුහාමි එල්ල බලා තැබූ වෙඩිපහරින් ධර්මදාස ගේ තුළ ඇද වැටුණි.
ඉන්පසු ගොකරැුල්ල පොලීසිය මගින් ධර්මදාසගේ දේහය කුරුණෑගලට ගෙන ගියේය. මේ යන අතරමග ධර්මදාසගේ මෘත දේහය බැලීම සඳහා ජනයා සිය දහස් ගණනින් අතරමග රැුඳී සිටියහ. පොලිසිය ජනතාවගේ අදහස්වලට ගරුකරමින් පොල්පිතිගම, කුඹුක්ගැටේ, කුඹුක්වැව, ඉබ්බාගමුව ආදී ප‍්‍රසිද්ධ ස්ථානවල වාහනය නවතා ජනතාවට ධර්මදාසගේ මෘත දේහය දැකබලා ගැනීමට සැලැස්වූහ.
ධර්මදාසගේ ඝාතන සැලැස්මට සම්බන්ධ මාතලේ සිටි විජේමාන්න නම් වූ පොලිස් පරීක්ෂක ද පැමිණ ධර්මදාස ඝාතනය කිරීමේ වගකීම පොලිසිය බාරගෙන අවශ්‍ය නීතිමය කටයුතු ද කළේය.
අධිකරණයට ඉදිරිපත්වූ සාක්ෂි සහ මිනිය කපා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරි මහතාගේ වාර්තා සලකා බැලූ මහේස්ත‍්‍රාත්තුමා විසින් එය යුක්ති සහගත සාධාරණ වෙඩි තැබීමක් හෙයින් එම වෙඩි තැබීමට සම්බන්ධ යයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කරුණාරත්න හා ප‍්‍රනාන්දු යන පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කොට සැරයන් තනතුරට ද උසස් කිරීමට නිර්දේශ කර මුදලින් තෑගි ද පිරිනමන ලදී. විජේමාන්න පොලිස් පරීක්ෂක ද සහකාර පොලිස් අධිකාරි තනතුරට ද උසස් කරන ලදී,
ධර්මදාසගේ දේහය අධිකරණයේ අවසර මත ධර්මදාසගේ ඥාති සොහොයුරියක විසින් භාරගෙන ඉනාමළුව අසළ ස්ථානයක තැන්පත් කරන ලදී. අප්පුහාමි ද සිද්ධියෙන් වසරක් යෑමට පෙර වල් අලියකු පහරදීමෙන් මිය ගියේය.
සටහන
සිරිල් පී. දයානන්ද
සේයාරූ: ඩබ්.සෝමපාල, පොල්පිතිගම සරත්







