2010 මාර්තු මස 11 වැනිදා බ‍්‍රහස්පතින්දා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


අනෙක් පළාත්වලින් ලැබූ ජයග‍්‍රහණ රජයට බස්නාහිරින් ලබාගන්න බැහැ


පොළොන්නරුව දිස්ති‍්‍රක් එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර
අර්ල් ගුණසේකර

මුළු රටේම එකවර මැතිවරණ පවත්වා ජය ගැනීමේ හැකියාවක් මේ රජයට නැත. එක් එක් පළාත් සභාව විසුරුවා හරිමින් රජයේ තිබෙන උපරිම ශක්තිය එයට යොදවා ඡුන්ද පැවැත්වීමෙන් පැහැදිලි වන්නේ රජයේ පවතින බංකොලොත්කමය. මේ රජයේ තිබෙන දුර්වලතාවය. එක් පැත්තකින් බලනවිට මේ රජය විපක්ෂයට කොතරම් බියක් දක්වනවාද යන්න මෙයින් පැහැදිලිය. අනෙක් පළාත් සභා ජයගත් ආකාරයට බස්නාහිර පළාත් සභාවත් ජය ගැනීම රජයේ අපේක්ෂාව විය හැකිය. එහෙත් බස්නාහිර පළාත අනෙක් පළාත්වලට වඩා බෙහෙවින්ම වෙනස් බව කිව යුතුය. අනෙක් පළාත් මේ රජය ජය ගත්තේ ආරක්ෂක හමුදා උතුරේ ලබන ජයග‍්‍රහණ අලෙවි කිරීමෙනි. රජයේ මාධ්‍ය හරහා ජනතාව මුලාවට පත් කරමිනි. එහෙත් බස්නාහිර පළාතේ ජීවත්වන ජනතාව මේ කරුණු සම්බන්ධයෙන් යථාර්ථය අවබෝධ කරගෙන සිටින උගත්, බුද්ධිමත් ජනතාවක් බව අමතක නොකළ යුතුය. බස්නාහිර පළාත් සභා ඡුන්දයට රජය විශාල වශයෙන් බියවී තිබෙන්නේ ඒ නිසාය.



රටේ තිබෙන දැඩි ආර්ථික පීඩනය අනෙක් පළාත්වල ජනතාවට වඩා බස්නාහිර පළාතේ ජනතාවට ඍජුවම දැනෙනු ඇත. රජය මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට විශාල වශයෙන් නව බදු කීපයක් පනවා තිබේ. ඒ වගේම තවත් සේවා රාශියක ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරමින් තිබේ. වයඹ ඡුන්ද ප‍්‍රතිඵලය නිකුත් කළ දිනයේම ජල බිල්පත් ගාස්තු සියයට පනහකින් පමණ වැඩි කෙරුණි. මේවායේ බර වැඩි වශයෙන්ම දැනුණේ බස්නාහිර පළාතේ ජනතාවටය. ඒ වගේම මේ පළාතේ ජීවත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බෙහෙවින්ම ගරුකරන ජනතාවකි. අද වනවිට මේ රජය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතළ ආකාරයෙන් නාය යමින් තිබේ. පැහැරගෙනයාම් වැඩි වශයෙන් සිදුවන්නේද බස්නාහිර පළාතේය. මේ ආකාරයට ජනතාව මත බර පටවමින් සහ තවත් නොයෙකුත් ආකාරයෙන් ජනතාව පීඩාවට පත්වන කි‍්‍රයාමාර්ග මේ රජය අනුගමනය කරමින් තිබේ. බස්නාහිර පළාතේ ජනතාව මේ කරුණු සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයකින් පසුවන බව කිව යුතුය. එනිසා අනෙක් පළාත්වලදී රජය ලබාගත් ජයග‍්‍රහණ බස්නාහිර පළාතේ දී ලබා ගැනීමට හැකිවන්නේ නැත.
 


එජාපයේ අර්බුදකාරී තත්ත්වයක් පවතින නිසා ඡුන්දය ජයගත හැකි දැයි ප‍්‍රශ්න කරන්නට පුළුවන. එජාපයේ අර්බුදයක් නැත. පක්ෂය ජයග‍්‍රහණය කරා ගෙනයාම සම්බන්ධයෙන් යම් යම් මත ඉදිරිපත්වී තිබුණි. අදවනවිට ඒ සියල්ල නිරාකරණය වී තිබේ. මේ වසර මැතිවරණ වසරකි. ඒ නිසා මතවාදී අරගල කර කර සිටීමට වෙලාවක් නැත. එජාපයේ සියලූ දෙනා එකමුතුවී පක්ෂය ජයග‍්‍රහණය කරා ගෙනයාමට කටයුතු කරමින් සිටින බව කිව යුතුය. 1977 සිට 1994 දක්වා ශ්‍රීලනිපයේ බරපතළ අර්බුද තිබුණි. එම අර්බුදවලින් සියයට එකක්වත් එජාප තුළ ඇතිවූයේ නැත. එදා ශ්‍රීලනිපයේ පැවැති අර්බුද කොතරම් බරපතළ වූවාද කියනවා නම් පක්ෂ මූලස්ථානය දෙකට බෙදාගෙන කටයුතු කළ කාලයක් තිබුණි. පක්ෂයේ අයිතිය වෙනුවෙන් ශ්‍රීලනිපයේම අය උසාවි ගිය බව මතක්කර දිය යුතුය. එක පත්තර පිටුව දෙකට බෙදාගෙන මේ අය එකිනෙකාට චෝදනා කරගත් ආකාරය මේ අයට අද අමතකය. මේවා යළි සිහිපත් කර දිය යුතුය.



එහෙත් එවැනි තත්ත්වයක් එජාපයේ නැත. පක්ෂයක විවිධාකාරයේ මත තිබෙන්නට පුළුවන. ඒවාට ඉඩ ලැබීමෙන් පෙන්නුම් කරන්නේ පක්ෂය තුළ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එජාපය සැමවිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරන පක්ෂයකි. පක්ෂය ඉක්මනින් ජයග‍්‍රහණය කරවීමේ වැඩ පිළිවෙළක් තිබේ. සංවාදයක් තිබේ. රජයේ මාධ්‍යය එජාපයේ අර්බුදයක් ලෙසින් ජනතාවට හුවා දක්වන්නේ එයයි. ඒ අනුව බලනවිට පෙනී යන්නේ එජාපය රජයටත් රාජ්‍ය මාධ්‍යයටත් ප‍්‍රශ්නයක් වී ඇති බවය. ඒ එජාපය ශක්තිමත්ව ඉදිරියට යන නිසාය. කෙසේ වුවත් පක්ෂය ජයග‍්‍රහණය කරවීමේ වැඩ පිළිවෙළ අරගලයක්, අර්බුදයක් වශයෙන් රජය පෙන්වන්නේ නම් ඒ අරගලයේ මමත් සිටින බව කිව යුතුය.



එජාපයේ වත්මන් නායකත්වයට එරෙහිව යම් යම් චෝදනා කරන්නට පුළුවන. එහෙත් මෙතැන තිබෙන්නේ නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක්ම නොවේ. එජාපයේ නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නය වැඩිපුර තිබෙන්නේ රජයට හා රජයේ මාධ්‍යයටය. එය එජාපය බැහැර කරන මතවාදය බවද කිව යුතුය. එනිසා අප මේ මැතිවරණයේදී අපේ සමස්ථ ඡුන්ද සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමත් මේ මැතිවරණවලට මුහුණදීමත් ඉතාම වැදගත්ය.



ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලංකාව දේශපාපලන ආර්ථික, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, යහ පාලනය යන අංශවලින් බරපතළ අභියෝගවලට මුහුණදී ඇති බව ඉතාම පැහැදිලිය. රට හමුවේ තිබෙන මේ අති දැවැන්ත ප‍්‍රශ්නවලට මුහුණදිය හැකි රනිල් හැර විකල්ප නායකයෙක් එජාපය තුළ නොව රජය තුළවත් නැති බව මධ්‍ය්‍යස්ථ, උගත්, බුද්ධිමත් ජනතාවගේ අදහස වී තිබේ. මහජන මතයෙන් ඡුන්ද ලක්ෂ හතළිස් අටකින් නිර්මාණය වූ නායකත්වයක් වර්තමානයේ එජාපයේ තිබෙන බව අමතක නොකළ යුතුය. ඒ වගේම ඒ නායකත්වය කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද හාර ලක්ෂ ගණනක් ලබාගත් බව කිව යුතුය.



දිගු කාලයක් විපක්ෂයේ සිටින නිසා පසුබැස ඇති මානසිකත්වයක් තිබෙන්නට පුළුවන. ඒ සියල්ල යටපත් කරගෙන ඉදිරියට යා යුතුය. යම් පසුබැසීමක් තිබේනම් එයට හේතුව යුද්ධය නමැති කාරණය නිසා ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණයයි. මෙවැනි වාතාවරණයකදී විසඳුමක් නැත. එය හොඳට මතක තබාගත යුතු කරුණකි. 1956 දී බණ්ඩාරනායක මහතා පංච මහා බලවේගය හදා දේශපාලන රැුල්ලක් ඇතිකළ අවස්ථාවේ එයට විකල්පයක් තිබුණේ නැත. බණ්ඩාරනායක මහතා මිය ගිය පසු ඇතිවූ සිතුම් පැතුම් එයට ඇතිවූ විකල්පයයි. එතුමා ඇතිකළ ජයග‍්‍රහණ පරාජය ලබනවිට ඒ මතින් ඊළඟ දේශපාලන පියවර හටගත්තේය. 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා රට බාරගත් විට වාමාංශිකයන්ට විකල්පයක් තිබුණේ නැත. ඒ අවස්ථාවේ ශ්‍රීලනිප පතාක යෝධයන් කළේ එජාප සාමාජිකත්වය ලබා ගැනීමය. දේශපාලනයේ ස්වභාවය එයයි.



අදවනවිට මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබේ. නිෂ්පාදන කර්මාන්ත බරපතළ අර්බුදයකට ලක්වී තිබේ. මූල්‍ය ක්ෂේත‍්‍රයේ නොයෙක් ආකාරයේ අර්බුද නිර්මාණය වී තිබෙන්නේ මේ රජයේ පවතින දුර්වල කළමනාකරණය නිසාය. විදේශ සංචිත මේ ආකාරයට අර්බුදයට ලක්වූ අවස්ථාවක් ඉතිහාසයේ නොමැත. අපනයන ආදායම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. මේ තත්ත්වය යටතේ රජය කරමින් සිටින්නේ තව තවත් බදු ගසා ජනතාව මත බර පැටවීමය.



පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය ජනතාවගේ සහන කප්පාදු කරමින් තිබේ. මේ වනවිට රාජ්‍ය සේවාව කප්පාදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන නිකුත් කර අවසානය. රාජ්‍ය අංශයට සේවකයන් බඳවා ගැනීම මේ වනවිට සම්පූර්ණයෙන්ම නතර කර තිබේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කොටස් වශයෙන් ගෙවීමට සාකච්ඡුා කරමින් තිබෙන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. ජනතාවට සහනදීමට පැමිණි රජයක් මේ ආකාරයෙන් කි‍්‍රයා කිරීම බෙහෙවින්ම කනගාටුදායකය.



දේශීය ආර්ථිකයක් ගැන මේ රජය විශාල සද්දයක් නැගුවද අද සිදුවී තිබෙන්නේ දේශීය ආර්ථිකය කඩා වැටීමය. දේශීය ව්‍යාපාර, කර්මාන්ත වැසීයාමය. මේ අංශ රැුක ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් රජයට නැත. කෘෂිකර්මාන්තයේ නියුතු අහිංසක ජනතාව කබලෙන් ලිපට වැටී අවසානය. ”අපි වවමුxරට නගමු” කියන්නේ මේ රටේ ජනතාව රවටන සටන් පාඨයක් පමණි. එසේ නැතිව මෙයින් කිසිවක් සිදු වන්නේ නැත. මේ රටේ ගොවි ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න රාශියක් මේ වනවිට ඇතිවී තිබේ. ඒවා විසඳීමට මේ රජය කටයුතු කරන්නේ නැත. එහෙත් මොරගහකන්ද ව්‍යාපාරයේ ප‍්‍රචාරක කටයුතුවලට පමණක් රුපියල් කෝටි තුනක් පමණ වියදම්කර තිබේ.



වී ගොවියාට අස්වැන්න අලෙවිකර ගැනීම බරපතළ ප‍්‍රශ්නයක් වී තිබේ. වී මිලදී ගැනීමේ නිශ්චිත වැඩ පිළිවෙළක් මේ රජය සකස්කර නැත. ඒ නිසා වී මාෆියාවක් නිර්මාණය වී තිබේ. රාජ්‍ය අනුග‍්‍රහය ලබන මේ වී මාෆියාව දිනෙන් දිනම ශක්තිමත් වන ආකාරයක් දැකගත හැකිය. රජයේ මැති ඇමැතිවරුන් හා සහෝදරයන් මේ මාෆියාව පසුපස සිටින බව රටම දනී. ඉදිරියටත් මෙය වෙනස් වන්නේ නැත. එනිසා මේ පාලනය යටතේ වී ගොවියාට සාධාරණයක් ඉටුවන්නේ නැත.



රට වගේම ජනතාවත් බංකොළොත් වී අවසානය. ඒ අන් කිසිඳු හේතුවක් නිසා නොව මේ රජයේ අ¥ර දර්ශී පාලනය නිසාය. ප‍්‍රතිපත්තියක් නොමැති නිසාය. නිදහස ලැබූ දිනයේ සිට 2004 දක්වා ගෙන තිබූ මුළු ණය ප‍්‍රමාණය රු. බිලියන 1783 කි. එහෙත් 2004 සිට මේ රජය යටතේ පමණක් රු. බිලියන 2327 ක් ණය ගෙන තිබේ. එජාප පාලනය යටතේ ඒක පුද්ගල ණය ප‍්‍රමාණය පැවැතියේ රු. 75,000ක් වශයෙනි. එහෙත් අද එක් පුද්ගලයකු රුපියල් දෙලක්ෂ එක් සදහසක ණය කාරයකු බවට පත්කර තිබේ. මේවා ගැන අද කිසිවකුත් සද්දයක් නැත.



රටේ පවතින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුපස යමින් තවත් රුපියල් කෝටි 20,000ක් ඉල්ලමින් සිටී. පවතින මූල්‍ය අර්බුදයේ බරපතළකම මෙයින්ම පැහැදිලිය. චන්ද්‍රිකා පාලනයටත් ආර්ථිකය ඍණවූ අවස්ථාවෙදිත් මූල්‍ය අරමුදල ලබා දුන්නේ රුපියල් කෝටි 5830කි. එහෙත් අද එම මුදල මෙන් හතර ගුණයක පමණ මුදලක් ඉල්ලා තිබේ. පවතින අර්බුදයේ ස්වරූපය එයින්ම පැහැදිලිය. ඒ වගේම මේ මුදල් ලැබෙන්නේ කොන්දේසිවලට යටත්වය. ඒවා මේ රජය කි‍්‍රයාත්මක කරන විට රුපියලේ අගය තවත් පිරිහෙනු ඇත. ජනතාවට සහන අහිමිවනු ඇත. රාජ්‍ය සේවාව කප්පාදු කරනු ඇත. දැන් ඒ සියල්ලට අවශ්‍ය පසුබිම සකසමින් තිබේ. මේ සියලූ දේ යුද්ධයෙන් වසන් කිරීමට රජය උත්සාහ කරමින් සිටින බවද කිව යුතුය. එහෙත් මේ රටේ ජනතාව මේ යථාර්ථය වටහා ගැනීම අත්‍යවශ්‍යය.



සටහන - චමින්ද මුණසිංහ
 

     
<< පෙර
වැදුම් : 112 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.