ඉතිහාසයෙන් පිටුවක්
කෝපිකාලේ කතා 3
”කෝපි පිස්සුව” පැවති කාලයේ වගා කළ කෝපි වතුවලින් අස්වනු ලැබෙන්නට පටන්ගත්තේ 1840 පමණ වන විටයි. කෝපි වගාව හා නිෂ්පාදනය ඉහළ ගියත් කෝපි නිෂ්පාදනයට ප‍්‍රායෝගිකව බලපෑ ප‍්‍රශ්න රාශියක් විය. ඉන් පළමුවැන්න ප‍්‍රමාණවත් මාර්ග පහසුකම් නොමැතිවීමයි. දෙවැන්න ප‍්‍රබල කම්කරු හිඟයයි. එතැන් සිට කලක් ගතවෙද්දී හමුදාමය අවශ්‍යතා සඳහා මාර්ග පද්ධති වැඩිදියුණු කෙරිණි. අනතුරුව ආර්ථිකමය අවශ්‍යතා සඳහාත් මාර්ග වැඩිදියුණු කළේය. මෙරට ප‍්‍රථම දුම්රිය මාර්ගය පිහිටුවනු ලැබුවේත් කෝපි වගාකර තිබූ ප‍්‍රදේශ ගැන සලකා බැලීමෙන් පසුවය. කම්කරු හිඟයට පිළියම් ලෙස 1839 සිට දකුණු ඉන්දියාවෙන් කෝපිවගාකරුවන්, කම්කරුවන් ගෙන්වන්නට විය. තොරමැන්ඩල් වෙරළින් කර්නාටක ප‍්‍රදේශයේ දහස් ගණන් වතු කම්කරුවන් පැමිණීම අප රටට තවත් දිගුකාලීන ප‍්‍රශ්නයක් දායාද කරදීමට සමත්විය. පැරණි වාර්තාවක සඳහන් වන්නේ 1843දී උතුරේ තොටුපල මගින් ඉන්දියානු පිරිමි පුද්ගලයන් 3149 ක්ද, කොළඹ වරායෙන් ඉන්දියානු පිරිමින් 3149 ක්ද වතුවලට පැමිණි බවයි. මේ හැර ළමුන්, කාන්තාවන් විශාල වශයෙන් 1839 සිට 1843 දක්වාත් ඉන්දියාවෙන් මෙරටට පැමිණි බව වාර්තා වෙයි.
මේ කාලයේ ලංකාවේ කෝපි වගාකළ අය අතර බි‍්‍රතාන්‍ය සිවිල් සේවකයෝ, ආණ්ඩුකාරතුමා, මන්ත‍්‍රණ සභිකයෝ, යුද්ධ හමුදා ප‍්‍රධානීහු, විනිශ්චයකරුවෝ හා පූජකවරු ද වූ බව අතීත වාර්තා පෙන්වා දෙයි. උඩරට සිංහලයන්ගේ ඉඩම් මේ පිරිස් තුට්ටුවට දෙකට කොල්ල කන ලද බව පසුකාලීනව හෙළිදරව් විය. රජයේ සිවිල් සේවකයන් කෝපි වගාවට වැඩිපුර නැඹුරු වූයේ ආණ්ඩුවේ මුදල් ප‍්‍රශ්න නිසා 1832දී සිවිල් සේවකයන්ගේ පඩිය අඩුකිරීම හා විශ‍්‍රාම වැටුප් කැපීමෙන් අහිමිවූ ආදායම සොයාගන්නටයි. මේ නිසා සිවිල් සේවකයන් එම සේවාව අතපසුකර ආදායම සොයන්නට වෙහෙස මහන්සිවීම නිසා සිවිල් සේවාවේ ගුණාත්මක බව අඩාලවූ බව බි‍්‍රතාන්‍ය වාර්තා පෙන්වා දෙයි.
බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලේකම්වරයාට මේ තත්ත්වය වාර්තාවීමෙන් පසු ඔහු කැම්බල් ආණ්ඩුකාරවරයාගෙන් මෙහි සත්‍යතාව ප‍්‍රශ්න ප‍්‍රශ්න කළේය. කෝපි වවන්නට රජයේ සේවකයන් දක්වන කැපවීම රාජකාරියට නැත්තේ මන්ද යන්න යටත් විජිත ලේකම්ගේ ප‍්‍රශ්නය විය. ඊට පිළිතුරු දුන් ආණ්ඩුකාර කැම්බල් ආණ්ඩුවේ සේවකයකුට ඉඩම් වවන්නකු වීම තහනම් කරන නීති හෝ රෙගුලාසි නැති බව පැවසීය. වතුවගාව නිසා රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම වූ බවත් තමන්ට නොපෙනේය කියා ද ඔහු ලියා යැවීය. ජනතාව මේ හේතුව නිසා රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්‍ෂම බව අඩු වූ බව කැම්බල් ආණ්ඩුකාරවරයා ඉන් වසරකට පසු පිළිගත්තේය.
ඉන්පසුව යටත් විජිත ලේකම්වරයාට කොළඹින් ලැබුණු වාර්තාවක සඳහන් වූයේ කොළඹ සිටි මහලේකම්වරයාත් වෙනත් ප‍්‍රධාන රාජ්‍ය නිළධාරින් ගණනාවකුත් කොළඹින් පිට පිහිටි තමන්ගේ වතු දියුණු කරන්නට යාම නිසා රාජකාරි අතපසු කෙරෙන බවයි. 1844දී මෙයට එරෙහිව බි‍්‍රතාන්‍ය කිරීටය නියෝගයක් පැනවීය. 1844න් පසුව කිසිම සිවිල් සේවයකුට ලාභය උදෙසා වතු වගා කිරීමට නීතියෙන් අවසර නැතැයි එම නීතියේ සඳහන් විය. වතුවගාවට පමණක් නොව වෙළෙඳාම ද ඉන්පසු රජයේ සේවකයන්ට තහණම් කෙරිණි. ඉඩම් හිමි රජයේ සේවකයන්ට සාධාරණ කාලයක් තුළ එම ඉඩම් විකුණා දමන ලෙස නියෝග කළේය. ඉඩම් වවන්නට ඕනෑ නම් රාජ්‍ය සේවයෙන් ඉවත්වන ලෙස වැඩිදුරටත් නියම කෙරිණි. මේ නිසා කෝපි වගාවෙන් යැපුන රාජ්‍ය සේවකයන්ට විවිධ ප‍්‍රශ්න පැනනැග්ගේය.
මේ නිසා දිසාපතිවරු, විගණකාධිපති ඇතුළු බොහෝ දෙනෙක් රජයේ තීරණය වෙනස් කරන්නැයි අභියාචනා කළෝය. අනතුරුව ආණ්ඩුකාරවරයාගේ ද මැදිහත්වීමෙන් සිවිල් සේවකයන්ට කොන්දේසි සහිතව වතු අයිතිකර ගන්නට අවසර ලැබෙන නියෝගයක් පනවා ප‍්‍රශ්නය සමථයකට පත් කෙරිණි. ඉන්පසු සිවිල් සේවකයන් වතු වගාව කළයුතු වූයේ ආණ්ඩුකාරතුමා අවසර දෙතොත් පමණි. එසේම කිසිදු නිලධරයකුට තමන් රාජකාරි කළ ප‍්‍රදේශයේ ඉඩම් වතුවගාව සඳහා යොදවා ගන්නට අවසර ලැබුණේ නැත.
මේ කාලයේ කෝපි වගාව තව තවත් දියුණු වෙමින් තිබිණි. උස් බිම්වල වගාවෙන් විශාල අස්වනු ලැබෙන්නට විය. කඳුකරයට කෝපි වගාව ව්‍යාප්තවූයේ ඒකාලයේ ය. කෝපි වගාව සඳහා අක්කරයක් සිලිම් 5 කට මුලින් අළෙවි වුවත් පසුව එය සිලිම් 20 දක්වා වැඩිවිය. ආණ්ඩුව 1843 හා 1844 වලදී කෝපි වවන්නට ඉඩම් අක්කර 72,500ක් පමණ පෞද්ගලික අංශයට විකුණනු ලැබීය. එහෙත් 1845 පමණ වන විට කෝපි වගාවේ සශ්‍රීක යුගය අවපාතයක් කරා ගමන් කරමින් තිබිණි. කෝපි වැවිල්ල පරිහානිය කරා ගමන් කරන්නට පටන්ගත්තේය.
1844න් පසු කෝපි මිල ගණන් පහළ වැටෙන්නට පටන්ගත් අතර 1849 දක්වාම කෝපි මිල පහළ වැටිනි. බ‍්‍රසීලයෙන් හා ජාවා රටින් ලාභයට බි‍්‍රතාන්‍යයට කෝපි ගෙන ඒම මේ මිල අර්බුදයට හේතු විය. තීරු බදු ක‍්‍රමය ද නැවතත් අපේ අවාසියට හේතුවන ලෙස සකස් කෙරිණි. මේ නිසා කෝපි වගාවට වූ හානිය ගැන කරුණු කියන්නට ශ්‍රී ලාංකිකයෝ කිහිපදෙනෙක් බි‍්‍රතාන්‍යයට ගියහ. එහෙත් බි‍්‍රතාන්‍යයේ බදු ප‍්‍රතිපත්තිය වෙනස් කරන්නට සූදානම් නොවීය.
ලබන සතියේ තවත් කොටසක්
රන්ජිත් ආනන්ද ජයසිංහ







