2010 මාර්තු මස 9 වැනිදා අඟහරුවාදා
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)


දේශපාලන කරලියේ මෝඩයන්ගේ දවස

එජාප

ඉකුත් 28 වැනිදා එජාප මහ ලේකම් තිස්ස අත්තනායක හා මොහොමඞ් මහරුෆ් කේම්බි‍්‍රජ් ටෙරස් වෙත කැඳවූ එජාප නායකයා විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීය. කොළඹ පාතාලය ආණ්ඩුවේ දේශපාලකයන් සමග එකතු වී එජාප පාක්ෂිකයන් බිය ගැන්වීමක් ගැන එහිදී අවධානය යොමුවිය. නායකයා මහරුෆ්ට අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර මැතිවරණ කොමසාරිස් හා පොලිස්පතිට පැමිණිලි කිරීම තිස්ස අත්තනායකට බාර විය.

අපේක්ෂක සුජීව සේනසිංහගේ කාර්යාලයට පහරදීමට එරෙහිව මාලඹේ පැවැති උද්ඝෝෂණයට තිස්ස ගියේ අනතුරුවය. අපේක්ෂකයන් වූ ජයන්ත කැටගොඩ, සාගර සේනාරත්න ද ඊට එක්වූහ. අපේක්ෂක කිත්සිරි මංචනායක සංවිධානය කළ රැුළියක් දිවුලපිටියේදී පැවැති අතර කරු ජයසූරිය, තිස්ස අත්තනායක හා දයාසිරි ජයසේකර ද එක්වූහ. එජාපය හා නායකයා ශක්තිමත් කරන්නට සියලූ වාද පසෙකලා කටයුතු කරනවා. රටේ හතුරා වූ රාජපක්ෂවරුන් පන්නා දැමීම අරඹා තියෙන්නේ දයාසිරි කීවේ උණුසුම් ප‍්‍රතිචාර මැදය. සාගරගේ ආරාධනයෙන් තිස්ස අවිස්සාවේල්ලට ගියේ ජනහමු හතරකට එක් වන්නටය. ඒවා නිමකොට එන අතරේ නවගමුවේ තිබූ සුජීව සේනසිංහ හා ජයන්ත කැටගොඩගේ රැුළියට ඔහු එක්විය.ඒ අතරේ එජාප නායකයා සෙනසුරාදා බණ්ඩාරගම හා පානදුරයට ගියේ අපේක්ෂකයන් වූ අජිත් පෙරේරා, මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු හා විජිත් ප‍්‍රියන්තගේ ආරාධනයෙනි. එම රැුස්වීම්වලට ඉමිතියාස් බකීර් මාකර් ද එක්විය. සන්ධානය 2006දී පළාත් පාලන ආයතන බහුතරයක් ජයගනිද්දී විජිත් ප‍්‍රියන්තගේ මූලිකත්වයෙන් පානදුර නගර සභාව එජාපය ජයගත් නමුත් කෙටිකලකදී එහි බලය පවරා ගැනීමට හිටපු මහ ඇමැති රෙජිනෝල්ඞ් කුරේ ක‍්‍රියා කළේය. පානදුරේ වත්මන් තත්ත්වය ගැන නායකයා විජිත්ගෙන් විමසුවේය. අපි නගර සභාව දිනපු දවසෙම මහ ඇමැති මගේ මූණටම කිව්වා අවුරුද්දකට වඩා ගෙනියන්න දෙන්නෙ නැහැ කියලා. පානදුරේ මිනිස්සු කෙලෙහිගුණ දන්නෙ නෑ කියලත් එයා කිව්වා. නගර සභාවට පළාත් සභාව දිය යුතු සල්ලිත් නතර කළා. ඒත් මම ජනතාවට සැපයිය යුතු සියලූ සේවා ලබාදුන්නා. මහ ඇමැතිගෙ රෙදි ගැලවිලා පානදුර ජනතාව එයාට එරෙහිවීගෙන එනකොට මාව සන්ධානයට බිලිබාන්නත් හැදුවා. ඒත් බැරිවුණා. පානදුර මේ පාරත් එජාපයට දිනවා දීලා මේ ජනතාව එයාට පාඩම් උගන්නාවි විජිත් ප‍්‍රියන්ත නායකයාට කීවේය.

ප්‍රොපෙසර්ගෙ තත්ත්වය හොඳයි නේද? නායකයා රවීන්ද්‍ර ප‍්‍රනාන්දුගෙන් විමසීය. ඔහු කීවේ ”මිනිස්සු බුද්ධිමත්; හැමදාම බොරුවෙන් රවටන්න බැරි නිසා ආර්ථික ප‍්‍රශ්නත් උග‍්‍ර නිසා එජාපයට වාසි බවය. තිස්ස, එස්.බී හා ගයන්ත කරුණාතිලක කළුතර නගර ශාලාවට ගියේ අපේක්ෂක ලක්ෂ්මන් විජේමාන්න ගේ බලමණ්ඩලයටය.

සඳුදා උදේ සිරිකොතදී කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් බස්නාහිර මැතිවරණ කමිටුව රැුස්වූ අතර තිස්ස අත්තනායක, රවි කරුණානායක, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ජයවික‍්‍රම පෙරේරා එක්වූහ. ආණ්ඩුවට හා හිටපු පළාත් සභාවේ කටයුතුවලට එරෙහිව මතුකළයුතු කරුණු ගැන එජාප අපේක්ෂකයන් දැනුවත් කරන්නට එහිදී තීන්දු විය. අදාළ විස්තර ගොනු කළ අත්පත‍්‍රිකාවක් පළාත තුළ බෙදා හැරීමට ද තීන්දු විය. අනතුරුව එජාප මූල්‍ය කමිටුව ද රැුස්වූ අතර කරු ජයසූරිය, තිස්ස, ජෝන් අමරතුංග, දයා ගමගේ හා මොහාන් ලාල් ගේ‍්‍රරු එක්වූහ. මැතිවරණ අරමුදල තරකිරීමට රුපියල් දහසේ ටිකට් පත් අලෙවිය විධිමත් හා ඉක්මන් කරමු. පක්ෂයට හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් උදව් ඉල්ලමු. මොහාන් ලාල් ගේ‍්‍රරු එහිදී කී දෙයට කාගේත් එකඟත්වය පළ විය. ආණ්ඩුව ඡුන්ද කරන්නේ රටට සහන දෙන්නට තියෙන ජනතා මුදලිනුයි. ඒත් එජාපය දුවන්නේ පක්ෂයට හිතවත් අයගේ මුදල්වලිනුයි එහිදී කියැවිණ.

එජාප නායකයා සඳුදා දිවුලපිටිය හා මිනුවන්ගොඩ රැුස්වීම්වලට ගියේ කිත්සිරි මංචනායක හා එඞ්වඞ් ගුණසේකරගේ ඇරයුමෙනි. තමාගේ කාලයේ මේ රටට ලැබුණු කීර්තිය දැන් ගිලිහෙමින් පවතිනවා. ඒක රටේ හා ජනතාවගේ ආර්ථිකයටත් ලොකු හානියක් වේවි නායකයා කීය. ඒ අතරේ කරු, ඉමිතියාස් හා ගයන්ත කරුණාතිලක අගලවත්තට ගොස් සාර්ථක රැුස්වීම් කිහිපයකට එක්වූහ. රෝහල් ගතව සිටිය ද සරත් රණවකගේ උපදෙස් මත එම ආධාරකරුවන් රැුස්වීම් සාර්ථක ලෙස සංවිධානය කොට තිබිණ. කිත්සිරි කහටපිටිය ද රැුස්වීම් කිහිපයක් සංවිධානය කොට තිබිණ.කරු ජයසූරිය, තිස්ස හා රේණුකා හේරත් සිරිකොතදී වගකිවයුතු වැඩකට අතගැසීමට සූදානම් වූයේ අනතුරුවය. පක්ෂය විධිමත්ව ඉදිරියට යාමට අදාළව මන්ත‍්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයන්ගෙන් අදහස් ලබා ගැනීම එහිදී සිදුවිය. එදින වජිර අබේවර්ධන, රවි කරුණානායක, එස්.බී. දිසානායක, ගයන්ත කරුණාතිලක හා රංජිත් අලූවිහාරේ තම අදහස් එළිදැක්වූහ. එහිදී බහුතරයක් මන්ත‍්‍රීවරු කියා සිටියේ පක්ෂය ජයග‍්‍රහණයට ගෙනයාමට නම් විනය, පක්ෂ නීති හා පක්ෂ ව්‍යවස්ථාව තරාතිරම නොබලා කාටත් පොදුවේ ක‍්‍රියාත්මක කළ යුතු බවය. ගයන්ත කරුණාතිලක හා රංජිත් අළුවිහාරේ කීවේ තමන් මධ්‍යස්ථ බවය. තමන් කලින් කී පරිදිම නායකයා වෙනස් නොකොට කෘත්‍යාධිකාරියේ ඡුන්දයකින් තේරෙන කෙනෙක් නියෝජ්‍ය නායක තනතුරකට පත්කොට ඔහු රට වටා යැවිය යුතු බවය. පාක්ෂිකයන්ගේ අදහස් පක්ෂයට එන ක‍්‍රමවේදයක් මෙන්ම පාක්ෂිකයන්ගේ දුක්ගැනවිලි බාරගෙන ක‍්‍රියාත්මක වෙන ඔම්බුඞ්ස්මන් කෙනෙකු පත් කළ යුතු බවද ගයන්ත හා රංජිත් යෝජනා කළහ.

අනතුරුව පැපරල් ප‍්‍රධානියා වූ කිංස්ලි රුද්‍රිගු හා තිස්ස අත්තනායක අතර හමුවක්ද පැවැති අතර පැපරල් අනුග‍්‍රහයෙන් එජාප ඡුන්ද නියෝජිතයන් දැනුවත් කරන වැඩමුළුවක් පැවැත්වීමට එහිදී තීන්දු විය. ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන සරත් රණවකගේ පාදයක ඇතිවූ තුවාලයක් නිසා ඔහුට ඇවිදීමට අපහසු වී තිබේ. වජිර අබේවර්ධන නිතර ඔහුගේ සුවදුක් බලන්නට යන අතර බදාදා තිස්ස ගොස් දිගු වේලාවක් රෝහලේ ගතකළේය.

සිකුරාදා පෙ.ව. 9ට කොළඹ දිසාවේ සියලූ සංවිධායකයන් කේම්බි‍්‍රජ් වෙත කැඳවා තිබිණ. නායකයා සමග කරු ජයසූරිය, තිස්ස අත්තනායක, රවි ඊට එක්වූ අතර මැතිවරණයේදී එජාපය අනුගමනය කළ යුතු ප‍්‍රචාරක හා වෙනත් උපාය මාර්ග ගැන එහිදී අවධානය යොමු වී තිබේ. සිකුරාදා පෙරවරුවේ එජාපය ඇතුළු පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමසාරිස් හමුවූ අතර තිස්ස අත්තනායක හා රවි කරුණානායක එජාපය නියෝජනය කළහ. පක්ෂග‍්‍රාහී රාජ්‍ය මාධ්‍යවල හැසිරීම හා පොලිසියේ ඇතැම් පක්ෂපාතී හැසිරීම් ගැන ද විවිධ චෝදනා එල්ල වූ අතර මේවා නිවැරදි කරන්නට වගකිවයුත්තන් දරන උත්සාහය ප‍්‍රමාණවත් නොවීම ගැනද විරෝධතා මතුවිය.

පසුගිය බදාදා සවස බියගමදී එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන සංවිධානය කළ සංවාදශීලී ජනහමුවට එජාප නායකයා එක්වූ අතර ධාරානිපාත වැසි මැද විශාල ජනකායක් ද ඊට එක්වූහ. ගම්පහ දිස්ත‍්‍රික්කයේ අනාගතය බාරගත හැකි මට්ටමේ තරුණයකු වූ රුවන් තමන්ට ලබාදීම ගැන ජනතාව නායකයාට ස්තූති කළෝය. සමහරු අපෙන් ඡුන්ද අරන් විවිධ වාසි වෙනුවෙන් පක්ෂය පාවාදීල යනවා. එසේ තිබියදී පක්ෂය රැුකගෙන ගම්පහ එජාප ජය තහවුරු කරන්නට බොරු ඇන්දිලිකාරයෙක්, මැරයෙක්, ජනතා මුදල් ගසාකන්නෙක් නොවන අයෙක් බියගමට ලබාදීම ගැන කිහිප දෙනෙක් ප‍්‍රශංසා කළහ. එහිදී නායක රනිල් කීවේ අපි අවංක කාර්යශූර අයෙක් ඔබලාට ලබාදුන්නා. ඔහු පළාත් සභාවට, පාර්ලිමේන්තුවට නොවෙයි ඊටත් එහා යැවීමේ තීන්දුව ඔබේ අතෙයි තියෙන්නේ. ඒ තීරණය ඔබ ඔබේත් ප‍්‍රදේශයේත් අනාගතයට කරනා ආයෝජනයක් වේවි. එජාප නායකයා කීය. අපේ පවුලේ ව්‍යාපාරවල විශාල පිරිසක් ඉන්නවා. මට ඔවුන්ට නායකයෙක් නොවී ඔබේ සේවකයකු වෙන්නයි දේශපාලනයට ආවේ රුවන් විජයවර්ධන කීවේ ජනතාවගේ ප‍්‍රතිචාර මැදය.

දිවුලපිටිය, මිනුවන්ගොඩ, මතුගම, පානදුර ඇතුලූ ප‍්‍රදේශ රැුසකදී ජනතාවගෙන් පැමිණි ප‍්‍රතිචාර බියගමදී ද එළි දුටුවේය. පක්ෂය යම් තීන්දුවක් ගත්තාට පස්සෙත් සමහර මන්ත‍්‍රීවරු පක්ෂයට හානිකර ලෙස හැසිරෙනවා. ඔවුන් ගැන දැඩි තීන්දු ගන්නෙ නැත්තේ ඇයි? ජනතාව නායකයාගෙන් විමසූ පොදු පැනය එය විය. මැතිවරණ අවස්ථාවක දිගින් දිගටම පක්ෂය විවේචනය කරන අය ගැන තීන්දු ගැනීමට පක්ෂ අභ්‍යන්තරය තුළ යම් සංවාදයක් ඇරඹී ඇති බව ද කියවේ.

මාර්තු 27 වැනි සිකුරාදා එජාප නායකයාගේ නිවසේ පැවැති සාදයට සියලූ මන්ත‍්‍රීවරුන් හා කෘත්‍යාධිකාරී සාමාජිකයන්ට ආරාධනා කොට තිබිණ. දයාසිරි, සජිත්, රවි, සමරවීර ඊට එක්වුව ද රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල, එස්.බී., ජොන්ස්ටන්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජයලත් ජයවර්ධන පැමිණ නොසිටීම විශේෂත්වයක් විය.

ආණ්ඩුවත් දැන් යුද්ධය වෙනුවට ආර්ථිකය ගැන කතා කරන්න පටන් අරන් අර්ල් ගුණසේකර කීය. බියගම වෙළෙඳ කලාපයේ විතරක් පැක්ටරි 25ක් වහලා. බොහෝ සමාගම්වල ඉන්ක‍්‍රිමන්ට්ස්, බෝනස් නෑ. ජීවන බරෙන් මිරිකෙන ජනතාවට රැුකියාත් අහිමිවේගෙන ගියොත් විශාල ප‍්‍රශ්නයක් වේවි. අර්ල් තවදුරටත් කීය. ලංකාවට ණය නොදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝකය පුරා ඉන්න දෙමළ ජනතාව හා විවිධ සංවිධාන පෙත්සම් 20,000ක් යවා ඇති බව ද  එහිදී එළිවිය.

අපේ‍්‍රල් 01 වැනිදා යනු  ඕනෑම බොරුවකට රැුවටෙන මෝඩයන්ගේ දිනයටය. ගයන්ත කරුණාතිලක එදින කොළඹ 07 මාකස් ප‍්‍රනාන්දු මාවතේ මාධ්‍ය හමුවට එක්වෙමින් කීවේ ආණ්ඩුවේ ඇමැතිවරුන් නම් සෑම දිනක්ම අපේ‍්‍රල් පළවෙනිදා කියලා හිතාගෙනයි මාධ්‍ය සාකච්ඡුාවල කතා කරන්නේ. අද අපේ‍්‍රල් 01දා වුණත් එජාපය අද කියන්නේ ”පරම සත්‍යයයි” ගයන්ත ප‍්‍රකාශ කළේ ජනමාධ්‍යකරුවන්ගේ සිනා මැදය.

පසුගිය බ‍්‍රහස්පතින්දා ලෝක බැංකු නියෝජිතයන් එජාපය හමුවූයේ කේම්බි‍්‍රජ් ටෙරස්හිදීය. නායකයා සමග රවි, කබීර් හෂීම් ඊට එක්වූහ. මේ වසරට ලංකාවට සතයක් දෙන්න පොරොන්දු වෙලා නැහැ. යහපාලනයට ආණ්ඩුව කටයුතු කළොත් මුදල්දීම සලකා බලනවා නියෝජිතයන් එහිදී කියා තිබේ. රටේ සංවර්ධනයට මුදල් දෙන්න. එත් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිවලට ඒ මුදල් යට කරන්න දෙන්න එපා. එජාපය පෙන්වා දී ඇතැයි ද කියති.

සඳුදා පෙරවරුවේ නායකයා පළාත් පාලන කමිටුවේ ප‍්‍රධානියා වූ වජිර කැඳවා කීවේ ගමේ සිංහල අවුරුදු උත්සවවලට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සම්බන්ධ වී කටයුතු කරන්නට උපදෙස් දෙන ලෙසය. සිකුරාදා කේම්බි‍්‍රජ් වෙත පැමිණි පළාත් පාලන නියෝජිතයන් පිරිසකට රුපියල් ලක්ෂ 20ක ප‍්‍රතිපාදන එජාප නායකයා අතින් බෙදාදුන් අතර වජිර හා අර්ල් ගුණසේකර ද ඊට එක්වූහ.

ආණ්ඩුව

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධාන ලේකම් ශ්‍රීටී.කේ.ඒ. නයර් මහතා පසුගිය සතියේ දිවයිනට පැමිණියේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ආරාධනයකට අනුවය. මේ සංචාරයට මුල පිරුණේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කේරළයේ කළ සංචාරයකිනි. කේරළයේ ”කොචින්” ගුවන්තොටුපොළ වැනි ගුවන් තොටුපොළක් ලංකාවේ ඉදිකිරීමට ඇති හැකියාව ගැන සොයා බලන්නට ගිය ගමනේදී ජනාධිපති ලේකම්වරයාට නයර් මහතා හමුවිය.

එහිදී කළ ආරාධනය පිළිගත් නයර් මහතා සිය බිරිඳද සමග ඉකුත් සතියේ මෙරටට පැමිණියේය. ඔවුන් දෙදෙනා දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය දැක බලා ගැනීම සඳහා පිටත්ව යාමට අවශ්‍ය සියලූ පහසුකම්ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත සූදානම් කර තිබිණි. මහනුවර හා අනුරාධපුර සංචාරයෙන් පසුව නයර් මහතා අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතාගේ විශේෂ පණිවිඩයක්ද නයර් මහතා ජනාධිපතිවරයාට බාර දුන්නේය. ”ජය ශ්‍රී මහා බෝධිය ළඟට ගියාම මගේ ඇඟ කිළිපොළා ගියා. එල්.ටී.ටී.ඊ.ය මේ වගේ දෙයකටද පහර දුන්නෙ කියලා. මම බෞද්ධ දර්ශනය ගැනත් තරමක් දුරට හදාරලා තියෙනවා. එල්.ටී.ටී.ඊ.ය කරලා තියෙන්නෙ සමාව දෙන්න බැරි වරදක්” නයර් මහතා කියද්දී ජනාධිපතිවරයා කීවේ ”ඉන්දියාවෙන් අපට ලැබුණු ශ්‍රී මහා බෝධිය අපි වසර 2,500 ක් තිස්සේ ආරක්ෂා කළා. අපි දෙරට අතර තියෙන මිත‍්‍රත්වය හොඳම සංකේතය මේ ශ්‍රී මහා බෝධියයි. එල්.ටී.ටී.ඊ.ය මේ ප‍්‍රහාරය එල්ල කළේ අප අතරේ තියෙන මේ මිත‍්‍රත්වයටයි” කියාය.

ජනාධිපතිවරයා කොළඹ දිස්ත‍්‍රික්කයේ සන්ධාන අපේක්ෂකයින් පසුගිය සතියේ අරලියගහ මැදුරට කැඳෙව්වේය. මුලින්ම කතා කළේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡුන්ද ප‍්‍රචාරක කටයුතු බාරව සිටින නිමල් සිරිපාල  ඇමැතිවරයාය. ”මේ පළාතේ අපේක්ෂකයින් එකිනෙකාට විරුද්ධව වචන හුවමාරු කරගන්නවා. සමහර ඇමැතිවරුත් එකිනෙකාට විරුද්ධව එක එක දේවල් කියා ගන්නවා. ආසන සංවිධායකයින්ගෙ තත්ත්වයත් එහෙමයි. මේවා හින්දා මාධ්‍ය සාකච්ඡුාවලට ගියාම, මාධ්‍යවේදීන් අහන ප‍්‍රශ්නවලට අපිත් අමාරුවෙ වැටෙනවා. අපි ඉන්නෙ සන්ධානයක, ශ්‍රී ලංකා කාරයොයි, යූ.එන්.පී. කාරයොයි කියලා වෙනසක් නෑ. යූ.ඇන්.පීයෙන් ආපු කෙනා පිටින් ආපු යූ.එන්.පී.කාරයා කියලා හිතන්න පුරුදු වෙන්න එපා. අපිත් එක්ක තොණ්ඩමන්ලා, කරුණලා, පිල්ලෙයාන්ලා, හෙළ උරුමයේ මේ හැමෝම ඉන්නවා. හැමෝම වැඩ කරන්නෙ බුලත් කොළේ දිනවන්න. ඒ නිසා වහාම මේ ගෝරි නතර කරන්න” නිමල් කීවේය. ජනාධිපතිවරයා කීවේ ”විපක්ෂය අන්තිමටම දුර්වලයි. අපේ අයට දැන් ගහ ගන්න කෙනෙක් නැහැ. ඒක හින්ද අපේ අයම ගහ ගන්නවා. පාක්ෂිකයො මේවා බලන්න සූදානම් නෑ. වගකීමෙන් වැඩ කරන්න” කියාය.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය සඳුදා කළුතර දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප ආසන සංවිධායකයින් හා බල මණ්ඩල නියෝජිතයින්ද අරලියගහ මැදුරේදී හමුවූයේ ඡුන්ද සටන ගැන සාකච්ඡුා කරන්නටය. අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාද, නිමල් සිරිපාල, සුසිල් පේ‍්‍රමජයන්ත, ඩලස් අලහප්පෙරුම, මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, නිර්මල කොතලාවල, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුද ඊට සහභාගි වී සිටියහ. හිටපු මහ ඇමැති රෙජිනෝල්ඞ් කුරේ මහතා ඊට සහභාගි නොවීය. බස්නාහිර මහ ඇමැතිධුරයට සන්ධානයේම අපේක්ෂකයින් අතර තියුණු සටනක් ඇරඹී තිබේ. ජනාධිපතිවරයා මේ රැුස්වීමේදී කීවේ මහ ඇමැතිකම දෙන්නෙ මනාප ගණන මත නෙවෙයි, පක්ෂය ගන්න තීන්දුව අනුවයි කියාය. ඒ නිසා අපේක්ෂකයො එකිනෙකා බැණ අඬ ගසා ගැනීමෙන් පලක් නැති බවද ජනාධිපතිතුමා කීවේය.

ජනාධිපතිතුමා අඟහරුවාදා උදේ හිතුවක්කාර ගමනක් ගියේය. ඒ හෝමාගම, දියගම ඉදිවන ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ගැන බලන්නටය. ආරක්ෂක අංශ මේ ගමනට විරෝධය පළකළද ජනාධිපතිවරයා ඒ ගැන නොතකා එම ස්ථානයට ගියේය. ඒ ගමන්ම ජනාධිපතිවරයා පිළියන්දල ඉදිවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කටයුතු ගැන බලන්නටද ගියේය. ඒ වන විට රාජිත සේනාරත්න ඇමැතිවරයාත් ආයෝජන මණ්ඩලයේ සභාපති ධම්මික පෙරේරාත් එතනට පැමිණ සිටියහ. ”මම හෝමාගම ක‍්‍රීඩාපිටිය බලන්න ගියා. මේක ඔයාගේ වගකීමක් විදියට අරන් ඉක්මණින් ඉවර කරලා දෙන්න” ජනාධිපතිතුමා රාජිතට කීවේය.

සළුසල ආයතනයේ ඇතිවී තිබෙන අර්බුදය ගැන සාකච්ඡුාවක්ද අඟහරුවාදා අරලියගහ මැදුරේදී පැවැත්විණි. මේ සාකච්ඡුාව යන අතරේ ජනාධිපතිවරයා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කැඳවන්නැයි නිලධාරියකුට කීවේය. ඒ අනුව බන්දුල ටික වේලාවකින් එතනට පැමිණියේය. සළුසල ආයතනයේ අර්බුදය විසඳා එය ආරක්ෂා කිරීම ගැන සාකච්ඡුාව යන අතරේ ජනාධිපතිවරයා කීවේ, නුවරින් මට කතා කරල කියනවා දැන් බඩු මිල අඩුයි කියලා. ඔයාගේ ආර්ථික මධ්‍යස්ථානවලින් ජනතාවටත් තවත් පහසු විදියට බඩු ගන්න අවස්ථාව හදල දෙන්න” කියාය. දැන් කුරුඳුවත්තෙ නෝනලාත් මේවාට ඇවිත් බඩු ගෙනියනවා” බන්දුල කීවේය.

සතියේ කැබිනට් රැුස්වීම බදාදා හැන්දෑවේ අරලියගහ මැදුරේදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙනි. කැබිනට් පත‍්‍රිකා ගැන සාකච්ඡුාව යන අතරේ ජනාධිපතිතුමාට දුරකථන ඇමතුමක් ආවේය. ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි. ගෝඨාභය ඒ වන විට සිටියේ විදේශගත වෙලාය. ඔහු කීවේ ආරක්ෂක හමුදාව කොටි ත‍්‍රස්තවාදීන් රැුඳී සිටින මුළු භූමි ප‍්‍රදේශයම සම්පූර්ණයෙන්ම වටකර ඇති බව යුද හමුදාපතිවරයා දැනුම් දුන් බවය. ”ඉතාම විශිෂ්ටයි. ඔහොම ඉදිරියට යන්න” ජනාධිපතිවරයා සුබ පතමින් කීවේය. ”එල්.ටී.ටී.ඊ.යේ කාඩර් එකෙන් සියයට 20 ක් විතර සිවිල් ජනතාව අතරින් එළියට ගෙන කොටු කරගෙන තියෙනවා. අපේ හමුදාව කොටින්ට යටත් වෙන්න කියලා කිව්වත් යටත් වෙන්නෙ නෑ. මරාගෙන මැරෙන්නමයි සූදානම” ගෝඨාභය දැනුම් දුන්නේය.

”අවුරුදු පහකට පමණ පස්සෙ බඩුමිල අඩුම වේගයෙන් වැඩිවුණේ මේ කාලෙයි. නමුත් දේශපාලන න්‍යාය පත‍්‍ර නිසා කවුරුවත් මේවා ගැන කියන්නෙ නෑ. මෛත‍්‍රිපාල ඇමැතිතුමායි මායි ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවලා මේ ගැන කිව්වා. ගිය අවුරුද්දෙ වළං පොළොවෙ ගහපු අය මේ ගැන සද්දයක් නෑ. ජනාධිපතිතුමා පත්කරපු ජීවන වියදම් කමිටුවේ වැදගත් තීන්දු නිසයි අපට බඩුමිල අඩුකරන්න පුළුවන් වුණේ” බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සුපුරුදු ආර්ථික විග‍්‍රහය ඉදිරිපත් කළේය. ”බන්දුල කියන එක හරි. මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න යූ.එන්.පී. යයි එල්.ටී.ටී.ඊ. යයි එකතුවෙලා අපට ආධාර දෙන්න එපා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දවසට ෆැක්ස් 200 ක් විතර යවනවා. මේ අය හදන්නෙ අපේ ආර්ථිකය කඩන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආපු අය විපක්ෂ නායකවරයා හමුවුණාම ඒ අයට කියලා තියෙන්නෙ, ඒ ගොල්ලන්ගෙ ආණ්ඩුවට දීපු කොන්දේසිවලටම අපටත් මේ ණය දෙන්න කියලයි” ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා මේ අතර තවත් කරුණක් මතු කළේය. ”අපි පළවැනි වතාවට වඩු කම්කරුවට, මේසන් වැඩකරන අයට උපාධියක් ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් විවෘත කළා. හැබැයි ඒකට මාධ්‍යවලින් ප‍්‍රචාරය දුන්නා මදි. අපි යුද්ධය කරනවා තමයි. හැබැයි කම්කරුවාට පවා උපාධියක් ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් හැදුවා. මේවාටත් හොඳ ප‍්‍රචාරයක් දෙන්න  ඕන” ජනාධිපතිතුමා කීය. ”අපි රජයේ වියදම් අඩු කරගෙන යනවා. සංවර්ධන ලොතරැුයි මණ්ඩලයට අලූතින් ගොඩනැගිල්ලක් හදන්න යනවා. මම ඒකත් නතර කළා” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

කැබිනට් රැුස්වීමෙන් පසුව ජනාධිපතිවරයා ඇමැතිවරුන් කිහිප දෙනකු වට කරගෙන කතා කරමින් සිටියේය. ගාමිණී ලොකුගේ ඇමැතිවරයා කීවේ ”බලන්න ජනාධිපතිතුමනි, මම මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත්කළා කියලා පත්තරවල දමලා” කියාය. ”අද අපේ‍්‍රල් 1 වැනිදා නිසා වෙන්න ඇති පත්තරවල මේ වගේ ඒවා දාන්නෙ” කියූ ජනාධිපතිවරයා එය වහාම නිවැරැුදි කරන්නැයි මෛත‍්‍රීට උපදෙස් දුන්නේය. තවත් ඇමැතිවරයෙකු කීවේ ඇමැති මණ්ඩලය 25 ට බස්සනවා කියලා පත්තරේක තිබුණා කියාය. ”ඒක මාත් දැක්කා. ඇමැතිවරුන් කීප දෙනෙකුගේ බිරින්දෑවරුන් මට කතා කළා.” ජනාධිපතිතුමා කියද්දී තවත් ඇමැතිවරයකු කීවේ මේ ප‍්‍රවෘත්තිය දැකලා හුඟක් ඇමැතිවරු ස්වේච්ඡුාවෙන්ම අයින්වෙන්න කැමැත්තෙන් හිටියා කියාය. ”අද අපේ‍්‍රල් පළවැනිදානෙ. හැබැයි මෙතන තියෙන බොරුව ඇමැතිවරුන් ගණන අඩු වෙනවා කියන එක නෙවෙයි. ස්වේච්ඡුාවෙන්ම අයින් වෙන්න බලන් හිටියා කියන එකයි.” ජනාධිපතිතුමා කියද්දී හැමෝටම හිනාය. අධ්‍යාපන ඇමැති සුසිල් පේ්‍්‍රමජයන්ත ඇමැතිවරයා දිවයිනේ නොසිටි නිසා මෙවර කැබිනට් රැුස්වීමට නිර්මල කොතලාවල ඇමැතිවරයා සහභාගිවී සිටියේය. පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය ජනාධිපතිවරයා කතා කරමින් සිටින තැනට ගියේ ලබන සතියේ චීනය බලා යාමට අවසර ලබාගන්නටය. ”සර් පක්ෂය වෙනුවෙන් මෛත‍්‍රිපාල ඇමැතිතුමාත් එක්ක චීනයට යන්න ආරාධනයක් ලැබිල තියෙනවා. ඡුන්දෙ තියෙන නිසා ගියාට කමක් නැද්ද? පවිත‍්‍රා ඇසුවාය. ”ඔයා ඒකට යන්න. මධ්‍යම ඡුන්දෙ වෙලාවෙ ඔයාට ඇමෙරිකාවේ හාවඞ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබිලත් ගියේ නෑ. ඔයා ඒ කැපවීම කළා” ජනාධිපතිවරයා කීවේය. ”හැබැයි මම හිතුවා ඔයා ඒ වෙලාවේ ඒ ගමන යන්න අවසර ගන්න ඒවි කියලා. ආව නම් මම ඒ ගමන යන්න කියනවා” ජනාධිපතිතුමා කියද්දී පවිත‍්‍රා කීවේ ”සර් විශාල ඡුන්ද ගණනකින් පැරදිලා හිටපු නුවරඑළිය දිස්ත‍්‍රික්කය දිනවීමේ වගකීම මට බාරදුන්නා. මම ඒ වගකීම හරියට ඉටු කරන්න  ඕන නිසයි ආවෙ නැත්තෙ” කියාය. ”ඔයා ඒ වෙලාවෙ නුවරඑළියෙ නතර වෙලා ඉඳලම වගකීමෙන් වැඩ කළා.” ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ‍්‍රහස්පතින්දා උදේ පාන්දර හදිසියේම ගාල්ල නාවික හමුදා කඳවුරට ගියේය. ජනාධිපතිවරයාගේ ගමනට නාවික හමුදාවේ උපලූතිනන් යෝෂිත රාජපක්ෂ සහ රෝහිත යන පුත්තු දෙදෙනාද එක්වූහ. මේ ගමනේ අරමුණ වූයේ පසුගිය කාලය පුරාම හමුදා සෙබළුන් උතුරට ප‍්‍රවාහනය කළ ”ජෙට් ලයිනර්” නෞකාව නිරීක්ෂණය කිරීමය. නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද මේ ගමනට එක්ව සිටියේය. ජනාධිපතිවරයා පුතුන් දෙදෙනා සහ නාවික හමුදාපතිවරයාද සමග ජෙට් ලයිනර් නැවේ නැගී මුහුදේ කිලෝමීටර් 50 ක් පමණ දුර ගියේය. ජනාධිපතිතුමා උදේ ආහාරය ගත්තේද නෞකාවේදීය. ඈත මුහුදට ගිය ජනාධිපතිවරයා ඩොල්ෆින් මත්ස්‍යයින්ද දැකබලා ගත්තේය. නෞකාවේ සංචාරය නිමවා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගොඩබිමට පැමිණියේ පැය තුනකට පමණ පසුවය.
මධ්‍යම පළාත් සභාවට පත්වූ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් සඳහා දෙදින වැඩමුළුවක් පසුගිය බදාදා සහ බ‍්‍රහස්පතින්දා නුවරඑළිය ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැත්විණි. පසුවදා අලූයම දෙක තුන වන තෙක් පැවැති සාදයේදී මහ ඇමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම ගී ගයමින් සාදය රසවත් කළෝය. එහිදී බස්නාහිර ඡුන්ද සටන ගැනද ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත‍්‍රීවරු කතා කරන්නට වූහ. ඒ අතරේ අලූතින් පත්වූ මන්ත‍්‍රීවරුන් මන්ත‍්‍රීවරියන් කිහිප දෙනකු පැමිණ ප‍්‍රමිත තෙන්නකෝන් මන්ත‍්‍රීවරයාට කීවේ අප්පච්චිට කියලා අපේ වාහන පර්මිට් එක ඉක්මන් කරවලා දෙන්න කියාය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානය අසල දී විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසකට මැදිවූයේ කුමාරසිරි හෙට්ටිගේය. පී. හැරිසන්, වජිර අබේවර්ධන, අර්ල් ගුණසේකර ඇතුළු එජාප මන්ත‍්‍රීවරු සහ දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඒ අතර වූහ.

”කවදද හෙට්ටි මහ මැතිවරණය එන්නේ?” එජාප මන්ත‍්‍රීවරයෙක් විමසුවේය.
”ඇයි... ඇයි? ඡුන්දවලට බයද?” හෙට්ටි දේශපාලනික විහිළුවක් කළේය. ”බයවෙන්න එපා... වෙලාවට මැතිවරණ එයි.” හෙට්ටි යළිත් කීවේය.

”ආරංචියක් තියෙනවා... ආරක්ෂක ලේකම්තුමාත් ඉදිරි ඡුන්දයකට ඉදිරිපත් වෙනව කියලා.” ඒ ප‍්‍රශ්නය දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකුගෙනි.
”මැතිවරණවලට ඔබතුමාලා බයවෙලා තියෙන තරම ඔය කතාවලින්ම පේනවා. මේ රටේ ජනතාව පක්ෂ බේදයකින් තොරව එතුමාට ගරු කරනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උප ජනාධිපති ධුරයක් කියලා තනතුරක් තියෙනවා නම් ඒක හිමිවිය යුත්තේ එතුමාටයි. ඒක තමයි ජනතාවගේ තීරණය.” හෙට්ටිගේ කීවේය.

අනතුරුව කතාබහ ඇදී ගියේ එජාපය දෙසටය. ”ඔබතුමාලා ඇයි ඡුන්දවලට ඔච්චර අකමැති” හෙට්ටිගේ යළිත් ඇසුවේ අර්ල්ගෙනි.

”ඔයාට පුදුම අමාරුවක්නේ තියෙන්නේ... අපේ පක්ෂය ගැන” අර්ල් කීවේය.

”අපේ රටට විපක්ෂයකුත් තියෙන්න  ඕනෙනේ. ඉතින් ඒ නිසා තමයි අපේ මේ සොයාබැලීම.” හෙට්ටිගේ කීවේය. විදුලි සෝපානයේ දොර විවර වූ හෙයින් කතාබහ නතර විය.

පසුගිය 28දා ගම්මන්පිලට ඉතා වැදගත් දිනයක් විය. ඒ ගංගොඩවිල සෝම හිමියන්ගේ සොයුරු පද්මසිරිගේ වැලිවිට නිවසේ පිළිගැනීමක් සූදානම් කර තිබීමයි. එම අවස්ථාවට සෝම හිමියන්ගේ මව චාලට් වීරතුංග මහත්මියද සහභාගි විය. රැුස්වීමට පැමිණි ගම්මන්පිල වීරතුංග මහත්මියට වැඳ ආශීර්වාද ලැබීය. සෝම හිමියන් රට ජාතිය ආගම රැුක ගැනීමට ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම පිළිබඳ ගම්මන්පිලට ස්තූති කිරීමට ද ඇය අමතක නොකළාය.

එදින රැුස්වීම් කටයුතු ඉක්මණින් අවසන් කර ගම්මන්පිල කාර්යාලයට පැමිණියේ එදින රාත‍්‍රී 8.30 සිට 9.30 දක්වා පැවැත්වෙන මිහිකත පැය සැමරීමටයි. ගෝලීය උණුසුම පිළිබඳ ලෝක අවධානය දිනා ගැනීමට මාර්තු 28 දින රාත‍්‍රී 8.30 සිට පැයක් විදුලි බුබුළු නිවා තබන මෙන් ලෝක වනජීවී අරමුදල සමස්ත ලෝකයෙන්ම ඉල්ලා තිබිණි. මිනිසුන් බිලියනයක් අඳුරේ හිඳ ගෝලීය උණුසුම පිළිබඳ දැනුවත් කිරීම එහි ඉලක්කයයි.

ශ්‍රී ලංකාවේ මෙයට වැඩි ප‍්‍රසිද්ධියක් නොතිබුණ ද මැතිවරණයට පෙරාතුව සිටම මෙම වැඩසටහනට සම්බන්ධ වීමට සිතා සිටි ගම්මන්පිල ඡුන්ද ප‍්‍රචාරක කටයුතු නවතා කඩිමුඩියේ සිය කාර්යාලයට පැමිණියේය. ඔහු කාර්යාලයට පැමිණෙන විට වේලාව 8.40 වී තිබුණු අතර කාර්යාලය තිබුණේ අඳුරේය. ඒ වනවිට වෘත්තීය සමිතියක නියෝජිතයින් පිරිසක් සහ ආධාරයක් ලබාදීමට පැමිණි ව්‍යාපාරිකයෙක් එම කාර්යාලයේ සිටි අතර ඔවුන් සමග සාකච්ඡුා පැවැත්වූයේ ද අඳුරේ සිටිමිනි. එමෙන්ම මෙම අවස්ථාවට පැමිණ සිටි ඇමෙරිකාවේ පදිංචි ගම්මන්පිලගේ මිතුරෙකු වන නිශාන් අමරසූරිය මෙම අවස්ථාව වීඩියෝගත කර ”අයි රිපෝර්ට්” නමැති පේ‍්‍රක්ෂක වාර්තා කිරීම යටතේ සීඑන්එන් වෙබ් අඩවියේ ඇතුළු කර තිබේ.

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කොළඹ මැතිවරණ කොට්ඨාස 5ක් ඇතුළත් කලාප අංක 02 භාරව කටයුතු කරන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා නව වැඩසටහනක් ක‍්‍රියාත්මක කරයි. එනම් සංඝයා වහන්සේලා, අන්‍ය ආගමික පූජකවරුන්, සියලූම අංශවලට අයත් වෘත්තිකයන්, ගුරු භවතුන්, උපාධිධාරීන්, විශ්වවිද්‍යාල සිසුන් හා කාන්තාවන් මගින් රජයේ මැතිවරණ පණිවුඩය ජනතාව අතරට ගෙනයාමයි.

මේ යටතේ පසුගියදා දෙහිවලදී මුස්ලිම් ප‍්‍රජාවද, පැපිලියානේදී මහා සංඝරත්නයද, කැස්බෑවේදී කාන්තාවන් සඳහාද වැඩසටහන් පැවැත්විණි. කාන්තා වැඩසටහන් පැවැත්වුනේ රූපලාවාන්‍ය වැඩමුළුවක්ද සමගයි. ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම් සඳහාද රැුස්වීම් පැවැත්වෙයි.

ජවිපෙ

අපේ‍්‍රල් 2 වැනිදා උදෑසන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කොට්ටාව නගරයේ අත් පත‍්‍රිකා බෙදාහැරීමේ නිරත වූහ. ඔවුන් අත් පත‍්‍රිකා බෙදමින් සිටියදී කොට්ටාව බස් නැවතුම්පළේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරු පැමිණ ඔවුන්ගේ ප‍්‍රශ්න සාකච්ඡුා කළ යුතුයි කීහ. හඳුන්නෙත්ති ඊට එකඟ විය. ඊට සුදුසු තැනක් නොතිබුණු නිසා බස් නැවතුම්පළේ නවතා තිබූ බස් රියක් තුළදී සාකච්ඡුාව සිදුවිය.

”අපට විශාල දුෂ්කරතා ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ ගැන කියන්නවත් කවුරුත් නෑ. අලූතින් පනවා තිබෙන නීති අසාධාරණයි. අපිට උදේ රැුවුල කපන්න අතපසු වුණොත් ඒකටත් දඩ ගහනවා. අපිට අලූත් නිල ඇඳුමක් දී තිබෙනවා. නමුත් ඇඳුම් මාරු කරන්න තැනක් නෑ. අපි නිල ඇඳුම ඇඳ ගන්නේ නවතා තිබෙන බස් වලට මුවාවෙලා. අපිට ආත්ම ගෞරවය රැුකගෙන අපේ වෘත්තීය කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ. අපිට අනෙක් අය ගැන විශ්වාසයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනුවෙන් මැදිහත් වෙයි කියලා හිතනවා” බස් රථ සේවකයෝ කීහ.

සුනිල් හඳුන්නෙත්ති කීවේ ”මේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න අපි උපරිම උත්සාහ කරන්නම්. රටේ නීතියක් හා විනයක් ස්ථාපිත කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය අනෙකුත් තත්ත්වයන්, පහසුකම් හා පසුබිම සකස් කළ යුතුයි. ආණ්ඩුවට මේවා ගැන හොඳ දැක්මක් හෝ වැඩපිළිවෙළක් නෑ. අපි මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙලා, ඔබට සහනයක් දෙන්න උත්සාහ කරන්නම්.”යනුවෙනි.

මාර්තු 29 වැනිදා බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිධුර අපේක්ෂක වරුණ රාජපක්ෂ ගම්පහ ප‍්‍රදේශයේ විද්වතුන් වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් මුණ ගැසුණා. එතැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කාලයක් තිස්සේ ක‍්‍රියාකාරී වූ පිරිසකුත් සිටියහ. වරුණ ඔවුන් සමග දේශපාලනය පිළිබඳව විවෘතව අදහස් හුවමාරුවක යෙදුණි. එතැනදී ආණ්ඩුව දේශපේ‍්‍රමය අලෙවි කරමින් ඡුන්දය ඉල්ලීම පිළිබඳව එක් අයෙක් සාකච්ඡුාව පටන් ගත්තේය.

”ආණ්ඩුවේ දේශපේ‍්‍රමය ගැන කියන්න උදාහරණ ගොඩක් තියෙනවා. විදේශවලට විකුණා දමපු පුල්මුඬේ ඉල්මනයිට් නිධිය, ගොඩවාය වැලි පරය, කන්කසන්තුරේ සිමෙන්ති කම්හල වගේ ගොඩක් දේ ගැන අපිට කතා කරන්න පුළුවන්. මම පළාත් සභාවේ එක උදාහරණයක් ගැන විතරක් කියන්නම්. අද වේදිකා උඩ දේශපේ‍්‍රමීන් විදියට කෑ ගහන අය බස්නාහිර පළාත් සභාවේදී ඒ අයගේ නිරුවත හෙළිදරව් කළා. පළාත් සභාවේ මුදල් මහජන බැංකුවේ ගිණුම්වල තැන්පත් කිරීම වෙනුවෙන් දෙන ප‍්‍රසාද දීමනාවක් විදියට පළාත් සභාවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට විදේශ සංචාරයකට බැංකුවෙන් මුදල් ලබා දුන්නා. අපි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ට ඒ විදේශ සංචාරය අවශ්‍ය නැහැ. ඒ මුදල් රණවිරු සුබසාධන වැඩපිළිවෙළකට යොදවන්න කියලා ඉල්ලීමක් කළා. ඒ යෝජනාවට තමන්ටත් එකතු වෙන්න වෙයි කියලා අද දේශපේ‍්‍රමීන් වෙලා ඉන්න පළාත් සභාවේ හැම මන්ත‍්‍රීවරයෙක්ම බය වුණා. අපේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන කරුණාජීව මහත්මයා ප‍්‍රතික්ෂේප කළා. විදේශ සංචාර යනව නම් විතරක් මුදල් දෙන්නම්, රණවිරු සුභසාධනයට මුදල් දෙන්න බෑ කිව්වා. රණවිරුවන් ධෛර්යමත් කරන්න තමන් දිනවන්න කියලා අද ඉල්ලන්නේ මේ අය.” වරුණ රාජපක්ෂ කීවේය.

ඒ රැුස්වීමෙන් පසුව තමන්ට තිබූ බොහෝ ගැටලූ නිරාකරණය වුණ බවත් අලූතින් හිතන්න කරුණු ගණනාවක් ඇති බවත් ඔවුහු වරුණට පැවසූහ.

අපේ‍්‍රල් 2 වැනිදා උදේ මහරගම කාර්යාලයේදී බස්නාහිර පළාත් මැතිවරණ සංවිධාන කමිටුව එකතු විය. පසුගිය දිනවල පැවැත්වූ බිම් මට්ටමේ ප‍්‍රචාරක කටයුතු අතිශයින් සාර්ථක වූ බව සාකච්ඡුා විය.
මහලේකම් ටිල්වින් සිල්වා මෙසේ කීවේය. අපි පසුගිය දින ගණනාව පුරාම ගම් මට්ටමේ රැුස්වීම් හා සාකච්ඡුා ගණනාවකට ගියා. ජනතාව තුළ ආණ්ඩුව ගැන තිබෙන ප‍්‍රතිරූපය සෑහෙන්න බිඳ වැටිලා. මේ අවුරුද්දේ අවුරුදු උත්සවයට අඩුම බඩු මිල වාර්තා වෙන බව ඇමතිවරු කිව්වාට පෙබරවාරි මාසේ ගැසට් එකකින් අලූතින් බදු ගහලා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැගලා. මිනිස්සු මේක තේරුම් ගන්නේ දෛනික ජීවිතයේදී මිසක් රූපවාහිනියේ ප‍්‍රවෘත්තිවලින් නොවෙයි. මගේ ළඟ තිබෙනවා අලූතින් ගහපු බදු ලේඛනයක්. බී ලූනු කිලෝවකට රුපියල් 25ක්, අල කිලෝවකට රුපියල් 25ක්, සැමන් ටින් එකකට රුපියල් 85ක්, මිරිස් කිලෝවකට රුපියල් 50ක් බදු ගහලා. ජනතාව ඉන්නේ ලොකු පීඩාවක” ටිල්වින් කීවේය.

ඒ විතරක් නොවෙයි, දැන් ආණ්ඩුව රාජ්‍ය සේවයත් කප්පාදු කරන්න යනවා. ඊයේ ? අලූත් ගැසට් නිවේදනය අවලංගු කළා කියලා කියනවා. ගැසට් නිවේදනයක් අවලංගු වෙන්න නම් අලූත් ගැසට් නිවේදනයක් නිකුත් කරන්න  ඕන. එහෙම වෙලා නැහැ. අනෙක් එක ඒක අවලංගු කරන්න ඇමති මණ්ඩලයට බෑ. අවලංගු කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිසම.” විජිත හේරත් කීවේය.
”දැන් ආණ්ඩුව කියන්න හදන්නේ ආණ්ඩුව මේකට විරුද්ධයි. මේක රාජ්‍ය සේවා කොමිසමේ කුමන්ත‍්‍රණයක් කියලා. ප‍්‍රශ්නෙ මේ තියෙන්නේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම නොවෙයි. දැන් තිබෙන කොමිසම පත් කළේ ජනාධිපතිතුමා. මේක ඇතුළේ රාජා කොල්ලූරේ වගේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුනුත් ඉන්නවා.   

අනෙක් සාමාජිකයොත් ආණ්ඩුවේ ප‍්‍රබල ආධාරකරුවන්. කොමිසමේ තීරණයත් ජනාධිපතිතුමාගේ තීරණයක්ම තමයි. දැන් ප‍්‍රතිවිරෝධයක් ගැන කියන එක විහිළුවක්.” බිමල් රත්නායක කියා සිටියේය.
ඒ අතර සමහර ඇමතිවරු කියනවා, ආණ්ඩුව මේක දන්නේ නෑ කියලා. ඊයේ ?ලූ දැන ගත්තේ. ගැසට් නිවේදනය නිකුත් කළේ පෙබරවාරි 20 වැනිදා. ආණ්ඩුව මුලින් මේකට කැමති වෙලයි හිටියේ. ජනමාධ්‍ය ඇමතිතුමා මාධ්‍ය හමුවකුත් තියලා මේක හොඳයි කිව්වා. පස්සේ අපි මේ ගැන පුවත්පත් දැන්වීමක් පළකරලා අපේ වෘත්තීය සමිති මේ ගැන ජනතාව දැනුවත් කරලා වැඩ කරන ජනතාව උද්ඝෝෂණ කරන කොට තමයි ආණ්ඩුවට මේකේ වැරදි පෙනුනේ. මේ කරන්නේ බොරුවක්. තැපැල් ඡුන්දය ඉවරවුණු ගමන් ආණ්ඩුව මේක ආයි ක‍්‍රියාත්මක කරනවා” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

ජවිපෙ

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය අඟහරුවාදා එහි බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී රැුස්විය. එහිදී මූලික අවධානය යොමුවූයේ ”දේශය ගොඩනැංවීමේ ජාතික පුනරුද වැඩපිළිවෙළ” කෙටුම්පත් කිරීමේ කටයුතු පිළිබඳවය.

”දැනටමත් එම කටයුත්ත ඇරඹී තිබෙනවා. වැඩපිළිවෙළ සැකසීමේ කටයුත්තට සහාය ලබාදෙන විශේෂඥ කණ්ඩායම සමග අපි දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළා. එහිදී ලෝක ආර්ථික අර්බුදය ඉදිරියේදී ශ්‍රී ලංකාවට බලපාන අන්දම පිළිබඳවත් සාකච්ඡුා කෙරුණා. ඒ අනුව කෙටුම්පත් කිරීමේ කටයුතු ආරම්භ කළා.” මෙම ජාතික පුනරුද වැඩපිළිවෙළ සැකසීමේ වගකීම පැවරී ඇති ජානිපෙ කමිටුවේ මූලිකත්වය දරන එහි ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා ප‍්‍රගති සමාලෝචනයක් සිදු කළේ ඒ අන්දමිනි.

”ඉතාම කෙටි කාලයක් තුළ ජාතික පුනරුද වැඩපිළිවෙළ ජනතාව හමුවට ගෙන යා යුතුයි. මේ වැඩපිළිවෙළ මේ රටේ දුක් විඳින බහුතර ජනතාවට ආශීර්වාදයක් වේවි. ඒ වගේම ”යුද්දෙන් පස්සෙ සුද්දෙ” දෙන්න බලාගෙන ඉන්න සුළු පිරිසකට හොඳ අතුල් පහරක් වේවි” පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතා එම සාකච්ඡුාව නිමා කරමින් පැවසීය.

”අදිරියන්ට මනාප කොච්චර පිරිසක් හිටියද කියලා තේරෙන්නේ දැන් තමයි” පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර එසේ පැවසුවේය. පේ‍්‍රක්ෂක ජනාදරයට පත් වූ ”බට්ටී” ටෙලිනාට්‍යයේ ”අදිරියන්” ලෙස රඟපෑ ප‍්‍රවීණ රංගන ශිල්පි ලාල් කුලරත්න මහතා පිළිබඳවය. ලාල් කුලරත්න මහතා මේ වනවිට කළුතර දිස්ත‍්‍රික් අපේක්ෂකයකු ලෙස බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත්ව සිටී. ඔහුගේ රංගන ප‍්‍රතිභාව හේතුවෙන් ඔහුට විශාල ජනතා ප‍්‍රතිචාරයක් ලැබී තිබේ.

”කොළඹ සුරේන් හාමුටත් ඒ වගේ තමයි. මනාප පිරිස ඉතා ඉහළයි” පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචල ජාගොඩද පැවසුවේය. එසේ පැවසුවේ ”බට්ටි” ටෙලිනාට්‍යයේ ”සුරේන් හාමුගේ” චරිතයට පණ දුන් රොජර් සෙනෙවිරත්න ප‍්‍රවීණ රංගන ශිල්පියා පිළිබඳවය. රොජර් මේ වනවිට ඉතා ඉහළ ජනතා ප‍්‍රතිචාරයක් ලබමින් කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයකු ලෙස බස්නාහිර පළාත් සභා මැතිවරණ කටයුතුවල නිරතව සිටී. මෙම සංවාදය ඇතිවූයේ බස්නාහිර පළාත් සභා මැතිවරණ කටයුතු පිළිබඳ ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේදීය.

ගෙවී ගිය සතියේදී විමල් වීරවංශ මහතාටද රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවිය. මේ ගැසට් නිවේදනය මගින් රාජ්‍ය සේවකයන්ට ඉතා අසාධාරණ නියෝග පනවා තිබිණි.

”මේ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කළොත් එය ඉතාමත් අහිතකර ලෙස රාජ්‍ය සේවකයන්ට බලපානවා. ඒ නිසා එය ක‍්‍රියාත්මක වීම කඩිනමින් නැවැත්විය යුතුයි” මේ ගැන වීරවංශ මහතාගේ අවධානය ප‍්‍රථමයෙන්ම යොමුකළ ජානිපෙ වෘත්තීය කටයුතු පිළිබඳ ලේකම්, දේශපේ‍්‍රමී වැඩකරන ජනතා මධ්‍යස්ථානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසිරි විජේනායක මහතා පැවසීය.
මේ පිළිබඳව තම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් නන්දන ගුණතිලක මහතා සමග සාකච්ඡුා කළ විමල් වීරවංශ මෙම ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම වහා නැවැත්විය යුතු බවට රජයේ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමටද කටයුතු කළේය.            

 

     
<< පෙර
වැදුම් : 326 
 
 


සබැඳි පුවත්

   
Copyright © 2008 Wijeya Newspapers Ltd. All rights reserved.