කොන්දේසි වෙන්දේසි කරන මූල්‍ය අරමුදල

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
ලංකාවේ ලොකුම ණය මුදල ලැබෙයිද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් ණය මුදලක් ලෙස ලබා ගැනීමට අයදුම්කර තිබේ. මෙය කලකට පසු ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි දැවැන්තම ණය මුදලය. මෙයට වසර කිහිපයකට පෙර රජය විසින් කොළඹ පිහිටා තිබූ මූල්‍ය අරමුදලේ කාර්යාලය වසා දමා මූල්‍ය අරමුදල සමග ගනු දෙනු නතර කිරීමෙන් පසු උද්ගත වූ ආර්ථික ප‍්‍රශ්න හේතුවෙන් මෙවර ණය ඉල්ලා සිටීමට සිදුවිය.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් රටකට ණය ලබාදෙන්නේ ඒ රටේ ගෙවුම් ශේෂ ප‍්‍රශ්න උග‍්‍ර වූ විට එය විසඳා ගන්නටය. මෙම ණය කෙටි කාලීන ණයකි. වසර 5 කට පෙර එය ගෙවා හමාර කරන්නට ද සිදුවෙයි. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීම ඒ රටේ ආර්ථික කළමනාකරණය ගැන ලැබෙන සහතිකයක්සේ සැලකේ. මූල්‍ය අරමුදල සමග ණය වැඩ සටහනක් ඇති රටකට ණය දීමට ජගත් මූල්‍ය ආයතන පැකිලෙන්නේ නැත. එබැවින් මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම ප‍්‍රශ්න ඇති රටකට වැදගත්ය.

කියුබාවේ හිටපු ජනාධිපති අචාර්ය පිදෙල් කස්ත්‍රෝ වරක් සඳහන් කළේ මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම යක්‍ෂයාගෙන් හාදු ලබා ගැනීමක් හා සමාන බවයි. ඒ තරමටම සමාජවාදී රටවල් මූල්‍ය අරමුදල අප‍්‍රිය කළේය. මෙසේ මූල්‍ය අරමුදල අප‍්‍රිය කිරීමට හේතුව ඔවුන් රටකට ණය දීමේදී පනවන කොන්දේසි මාලාවයි. ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් රටට කුමක් කීවත් මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන කොන්දේසි පිළිගත යුතුය. එකී කොන්දේසි පිළිනොගන්නා කිසිදු රටකට එක ඩොලරයක්වත් ණය නොලැබෙන බව සක්සුදක්සේ පැහැදිලි කරුණකි. කොන්දේසි වලින් තොරව මූල්‍ය අරමුදල මේ දක්වා ලෝකයේ කිසිදු රටකට ණය සපයා නැත. අපට ද එම තීරණය එසේම බලපායි.

මූල්‍ය අරමුදල නිරන්තරයෙන් සපයන ණය හඳුන්වන්නේ ව්‍යුහාත්මක ගැලපුම් වැඩ සටහනක් හැටියටයි. ආර්ථික කළමනාකරණය විධිමත් කරන යෝජනා ගණනාවක් මේ ව්‍යුහාත්මක ගැලැපුම් වැඩ සටහනට ඇතුළත්වෙයි. එහෙත් මෙවර අප ගන්නේ ‘ස්ටෑන්ඞ් බයි’ ණය මුදලකි.

මෙයට පෙර ශ්‍රී ලංකාව ඇතුළු ලොව විවිධ රටවලට මූල්‍ය අරමුදල ණය සැපයීමේදී පැනවූ කොන්දේසි සලකා බලනවිට ඔවුන්ගේ ක‍්‍රියාපටිපාටිය ගැන යමක් දැනකියාගත හැක. රාජ්‍ය ආයතන අලාභ ලබන්නේ නම් ඒවා කවර මහජන සේවාවක් ඉටුකළත් පෞද්ගලික කරණය කළ යුතුය. රාජ්‍ය සේවයට අලූතින් සේවකයන් බඳවා නොගත යුතු අතර රාජ්‍ය සේවය හැකිතාක් කුඩාකළ යුතුය. රාජ්‍ය බැංකු පෞද්ගලික කරණය කළ යුතුය. බදු ක‍්‍රමය සරල කළ යුතුය. මූල්‍ය ඒකකය අවප‍්‍රමාණ කළ යුතුය. නැතිනම් එය පාවීමට ඉඩ හැරිය යුතුය යන කොන්දේසි මෙයට පෙර අප රටට පැනවූ ඒවාය.

මෙවර අපට ණය සැපයීමේදී ද මෙබඳු කොන්දේසි හෝ මෙයට සමාන වෙනත් කොන්දේසි පනවන්නට ඉඩ තිබේ. එහෙත් දැනට ලෝකයේ පවත්නා ප‍්‍රබල ආර්ථික අවපාතය නිසා අතීතයේදී තරම් සැර කොන්දේසි මූල්‍ය අරමුදල විසින් රටවල් මත නොපටවන බව ද සඳහන් කරනු වටී. ඒ ඒ රටවල් සමග සාකච්ඡුා කර ඔවුන්ගේ රාජ්‍ය ප‍්‍රතිපත්තියට අදාළ මූල්‍ය කළමනාකරණය විධිමත් කරන කොන්දේසි ඔවුන් පැනවීම දැනට ක‍්‍රියාත්මක වන ක‍්‍රමයයි. එහෙත් අතීතයේ නම් මූල්‍ය අරමුදල අපට ලබාදුන්නේ නියෝගයන්ය.

මා දන්නා පරිදි මෙයට පෙර එක් අවස්ථාවක මූල්‍ය අරමුදලින් කලින් පැවති ආණ්ඩුවක් දුප්පත්කම තුරන් කිරීම හා සංවර්ධනයට ණයක් ඉල්ලා සිටිවිට ඔවුන් අප රටට නියම කළේ අසවල් දිනට පෙර ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පෞද්ගලික කරණය කොට ණය සාකච්ඡුාවට පැමිණෙන ලෙසයි. ඒ අනුව නියමිත දිනයට පෙර රක්‍ෂණ සංස්ථාව පෞද්ගලික කරණයකොට අදාළ සාකච්ඡුාවට සහභාගිවීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ එදා හැටිය. අද තත්ත්වය එතරම්ම දරුණු නැත.

යට කී ලෙස මෙවර මූල්‍ය  අරමුදලින් අප ඉල්ලා සිටි ණය හඳුන්වන්නේ ස්ටෑන්ඞ් බයි ලෝන් යනුවෙනි. අප රටේ විදේශ සංචිත ප‍්‍රමාණය පසුගිය කාලයේ සිග‍්‍රලෙස පහත වැටුණි. මෙයට මාස 6 කට පෙර ඇමෙරිකානුඩොලර් මිලියන 3.000 කට වැඩිය තිබූ විදේශ සංචිත ප‍්‍රමාණය දැන් ඩොලර් මිලියන 1400 කටත් අඩුය. මේ ආකාරයට මූල්‍ය සම්පත් අඩුවූයේ මහ බැංකුව ¥රදර්ශී ලෙස විදේශ සම්පත් කළමනාකරණය නොකිරීම නිසා බව මධ්‍යස්ථ ආර්ථික විචාරකයන්ගේ අදහසයි.

රුපියලේ අගය කෘතිම ලෙස ඉහළින් තබා ගන්නට විදේශ විනිමය පිලිස්සූ මහ බැංකුව හෙජින් ක‍්‍රියාවලියේ වක‍්‍ර බලපෑමට ද හසුව තිබෙන මූල්‍ය සංචිත ප‍්‍රමාණය සිඳගත්තේය. ආනයන අපනයන වෙළෙඳ පොළේ මූල්‍ය ඌණතා සපුරන්නට දිනපතාම වාගේ (පසුගිය කාලයක* මහ බැංකුව මුදල් දැමීය. එය ද මහ බැංකුව වරද්දාගත් තැනකි. රුපියල් මුදලින් ඩොලර් මිලදී ගැනීම සිරිතක් වශයෙන් සිදුවිය. එහිදී ඩොලර් සැපයුනේද මහ බැංකුවෙනි.

මේ එකට එකක් පරස් පර අතාර්කික මූල්‍ය කළමනාකරණය නිසා දැන් වැඬේ හොඳටම වැරදී තිබේ. මෙහි වඩාත් අසාධාරණය සිදුවන්නේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ නිල වගකීම දරන ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාටය. එතුමාට මේ අර්බුදය ගැන හොඳින්ම වැටහෙතත් මහ බැංකු බලධරයෝ අවසන් මොහොත දක්වාම ජනාධිපති වරයාට වාර්තා කළේ රටේ ආර්ථිකය ඉතාමත් යහපත් ලෙස ඉදිරියට ඇදෙන බවයි. එහෙත් යථාර්ථය එය නොවීය. මේ නිසා ජනාධිපතිවරයා මින් ඉදිරියටවත් මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ වාර්තා ඩබල් චෙක් කරන සම්ප‍්‍රදායක් ඇති කරගත යුතුය. තමන් මේ මූල්‍ය බලධරයන් කෙරේ තබන විශ්වාසය ඔවුන් හරියට රකින්නේ ද යන්න විමසා බැලිය යුතු ප‍්‍රශ්නයයි.අප රටේ හටගෙන තිබෙන සංචිත ප‍්‍රශ්නයට ලෝක ආර්ථික අර්බුදය ඍජු ලෙසම බලපා නැත. එහි යම් යම් සුළු වක‍්‍ර බලපෑම් ඇතත් මේ ප‍්‍රශ්නය අපම හදාගත් එකකි. රටට මේ ගැන මොනවා කීවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික විශේෂඥයන්ට මේ යථාර්ථය සැඟවිය නොහැක. ඔවුන් අප ගේ ශේෂ පත‍්‍රය විමර්ශනය කරන විට මේ ඇත්ත නිතැතින්ම හඳුනාගනී.

දැනට මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර ඩොලර් බිලියන 1.9 ණය දීම සඳහා සාකච්ඡුා ඇති වෙමින් තිබේ. මේ සාකච්ඡුාවේදී අපවෙත යම් කොන්දේසි මාලාවක් පනවා ණය දීම සිදුවන බව මූල්‍ය අරමුදල් කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි. දැනට නිල වශයෙන් ප‍්‍රකාශකර නැතත් ඔවුන් අපට පනවනු ඇත්තේ මෙබඳු කොන්දේසි මාලාවකි. රජය ගිය වසරේ ඉලක්ක කරගත් අයවැය ඉලක්ක කරා ආර්ථිකය ගමන් කරවිය යුතුය. රටේ මූල්‍ය සංචිතය කළමනාකරණය කොට එහි ප‍්‍රගතිය පෙන්වීමට ඉලක්ක ලබාදෙයි. ඒවා අනුගමනය කළ යුතු බවට කොන්දේසියක් පැනවෙයි. බදු එකතුකිරීමේ ඌණතා නැති කිරීමට ද බදු ආදායම් වැඩිකර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කරෙයි. ඊළඟට රාජ්‍ය වියදම් අඩු කිරීමේ ක‍්‍රමයක් සකසන ලෙස කොන්දේසියක් පැනවීමට සාකච්ඡුා අරඹන බව මූල්‍ය අරමුදල කියයි. මෙහිදී රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව නව බඳවා ගැනීම්, වැටුප් වර්ධන, වැනි වර්තන වියදම් අඩු කිරීමේ සැලැසුමක් සැකසීමට රජයට සිදුවිය හැක.

මූල්‍ය අරමුදල ණය සැපයීමට පෙර අපෙන් ඉල්ලා සිටින තවත් ප‍්‍රධානම කරුණක්වන්නේ අපේ රුපියලේ අගය යථා ස්වරූපයෙන් පවත්වාගත යුතු බවය.

ඒ නිසා දැනට තිබෙන කෘත‍්‍රිම අධි ප‍්‍රමාණය කිරීම් අහෝසිකර රුපියල් අවප‍්‍රමාණය කරන්නටම මහ බැංකුවට සිදුවීම අනිවාර්ය කරුණකි. සාක් කලාපයේ අනෙක් රටවල මූල්‍ය ඒකක හා සමපාත වන ලෙස රුපියල හා ඩොලරය අතර සබඳතාව පවත්වන ලෙස මූල්‍ය අරමුදල දැනටමත් අපරටට නිල මට්ටමින් දන්වා ඇති බවට ආරංචිය.

මේ ණය අපට ලබා දීමේදී කොන්දේසි ඉටු කිරීම මෙන්ම මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු නියෝජිතයන්ගේ තීරණය ද තදින්ම බලපාන බව සඳහන් කරනු වටී. ශ්‍රී ලංකාවට මේ ණය නිර්දේශ කිරීම භාරව සිටින මූලික වගකියන්නා වන කලාපීය අධ්‍යක්‍ෂ අනුප්සිං මහතා අපට ණය දීමට පක්‍ෂව මේ වන විටත් කරුණු දක්වා තිබේ. ඇමෙරිකාව මේ සඳහා විරුද්ධවීමට අවශ්‍ය හේතු සාධක දැනට කෙරෙන යුද්ධය හා සම්බන්ධ කිරීමට ද සමහර පිරිස් තැත්කරති. යුද්ධය මෙහෙයවන අකාරය ගැන ඇමෙරිකානු ෆෙඩරල් උසාවියේ පවරා තිබෙන නඩුවක් මේ ණය දීම පමාකරවීමට උපයෝගී කරගන්නට එක්තරා පිරිසක් උත්සාහ දරමින් සිටී.

කෙසේ හෝ මේ ණය ලැබේ නම් එය ලැබෙන්නේ වසර 2ක් තුළයි. පියවර තුනකට පමණ ණය මුදල නිදහස් කෙරේ. පළමු පියවරේදී අප කොන්දේසි සපුරණ ආකාරයට ණය මුදලින් 50% හෝ 60% ක් ලබා ගන්නට පිළිවන. මේ අකාරට පියවරෙන් පියවර දෙන ණය ගෙවීම ආරම්භ වන්නේ මාස 18 කට පමණ පසුය. වසර 05 කින් ණය ගෙවා හමාර කරන්නට නම් දලවශයෙන් වසරකට පොලියත් සමග ඩොලර් මිලියන 400 ක් වත් ගෙවීමට රජයට සිදුවෙයි. ඒ අතරම මූල්‍ය අරමුදලේ ණය පහසුකම හමාර වනවිට අප රට ස්වේච්ඡුාවෙන්ම විදේශ සංචිතය වර්ධනය කරගත යුතු යැයි කොන්දේසියක් පැනවේ. ඒ ඉලක්කය සාර්ථක කර ගන්නා අකාරය අධ්‍යනය කරන මූල්‍ය අරමුදල අනාගතයේදී ණය සැපයීමේ කටයුතුවලදී ඒ ප‍්‍රගතිය අනිවාර්යයෙන්ම සලකා බලනු ඇත. මේ කිසිදු නියමයකින් හෝ කොන්දේසියකින් තොරව මහ බැංකු ප‍්‍රධානීන් ජනතාවට කියන අකාරයට මෙතෙක් ලොව කිසිදු රටකට මූල්‍ය අරමුදල ණය සපයා නැත. අපරටේදී පමණක් ඔවුන්ගේ ඒ ක‍්‍රමවේදය වෙනස් විය නොහැක. එහෙත් අතිතයේදී තරම් දරදඬු කොන්දේසි පැනවීමක් මෙවර සිදු නොවන්නට ඉඩ තිබේ.

 


සබැඳි පුවත්


You are here: