ආසියානු පාසල් චෙස් තරගාවලියේ අවුරුදු 7න් පහළ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගෙන මව් බිමට ගෞරවයක් ගෙන ඒමට එන්.පී.ජී. සිතිජ ලහිරු ශිෂ්‍යයා සමත් විය. ඔහු අලූත්ගම අනුර ආදර්ශ කනිටු විදුහලේ ඉගෙනුම ලබයි.
කොළඹ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැති මෙම තරගාවලියට ආසියානු සම්මේලනයේ සාමාජි්ක රටවල් වන ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් තරගකරුවෝ 9 දෙනෙක් සහභාගි වූහ.
අනුර ආදර්ශ කනිටු විදුහලේ තුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලහිරුගේ එකම අරමුණ අනාගතයේ දී විද්‍යාඥයෙක් වීමයි. චෙස් ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යාපන කටයුතු සහ චිත‍්‍ර නැටුම් විෂයයන්වලට ද කරාතේ ක‍්‍රීඩාවට ද එක සේ දස්කම් දක්වන ලහිරු චෙස් තරග අටක දී සම්මාන දිනා ගත්තේය.
2007 වසරේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් පැවැත්වූ ගම්පහ දිස්ත‍්‍රික් යෞවන වේග චෙස් ශූරතාව අවුරුදු 7න් පහළ ප‍්‍රථම ස්ථානයත්, ගම්පහ දිස්ත‍්‍රික් චෙස් සංගමය පැවැත්වූ චෙස් තරගයෙන් ප‍්‍රථම ස්ථානයත් දිනා ගැනීමට ඔහු සමත් විය. 2008 වසරේ සමස්ත ලංකා චෙස් තරගයෙන් අවුරුදු 7න් පහළ තරගයෙන් පළමු ස්ථානය ද දිනා ගත්තේය.
2007 වසරේ ශ්‍රී ලංකාවේ ජපන් ෂොටෝකාන් කරතේ සංවිධානය පැවැත්වූ 11 වැනි ජාතික කරාතේ ශුරතාවලියේ දී අවුරුදු 7 පහළ අංශයෙන් තුන් වැනි ස්ථානයත් එම වසරේම ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සම්මේලනය මගින් පැවැත්වූ ශ්‍රේණිගත කිරීමේ තරගයෙන් කුසලතා සහතිකයත් හිමි කර ගැනීමට ලහිරු සමත් විය.
2006 වසරේ ලෝක ළමා දිනය නිමිත්තෙන් අන්තර් මහද්වීපික ළමා හා චිත‍්‍ර ප‍්‍රවර්ධන මූලස්ථානය මෙහෙයවූ ජාත්‍යන්තර පෝස්කාඞ් චිත‍්‍ර තරගයෙන් ප‍්‍රථම ස්ථානයත්, අන්තර්ජාතික මොනාලිසා පදනම මෙහෙයවූ 2006 ලෝක ළමා දින ගම්පහ දිස්ත‍්‍රික් තරගයෙන් දෙවන ස්ථානයත් හිමි කරගත්තේ සුපුන් ළහිරු සිසුවාය.
තම සියලූ ජයග‍්‍රහණවල පිටුපස සිටින්නේ තම මව සහ පියා බව සිතිජ ළහිරු පවසයි. ළහිරු මෙසේ ද කීය. මව්පියන් මට කිසිම වෙලාවක අධ්‍යාපන වැඩවලට බල කරන්නෙ නැහැ. පාසලේ දී මගේ විදුහල්පති උපාලි කරුණාරත්න මහතාගෙන් හා චෙස් බාර ගුරුතුමිය වන මානෙල් කුරුප්පු මහත්මියගෙන් සහ චෙස් පුහුණුකරු සිරිල් ලියනපතිරණ ගුරුතුමාගෙන් විශාල සහයක් ලැබෙන බව ද සුපුන් ළහිරු අප සමග පැවැසීය.
පුංචි ළහිරුගේ අනාගත බලාපොරොත්තු සඵල වේවායි අපි ද සුබ පතන්නෙමු.


