ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් පිටියට දක්‍ෂයන් බිහිකිරීමේ තිඹිරිගෙය පාසල් ක‍්‍රිකට් පිටිය බව බොහෝ දෙනාගේ මතයයි. එය තවදුරටත් යථාර්ථයක් කිරීමට නම් පාසල් ක‍්‍රිකට් පිටියේ දස්කම් දක්වන ක‍්‍රීඩකයන් ආරක්‍ෂා කර ගැනීම අනිවාර්්‍ය සාධකයක් බව පෙනේ.
එහෙත් ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම තේරීමේදී මෙන්ම වයස 19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම තේරීමේදී ද ඇති වු ඇතැම් සිද්ධින් දෙස අවධානය යොමු කරන විට දක්‍ෂ පාසල් ක‍්‍රීඩකයන් දැඩි අවධානමකට ලක්ව ඇති බවක් පෙනී යයි.
මැලේසියාවේ මේ වන විට තරග සංචාරයකට සහභාගි වී සිටින වයස 15 න් පහළ කණ්ඩායම තෝරා ගැනීමේදී ද අක‍්‍රමිකතා සිදුවී ඇතැයි පවසමින් සංචාරය තාවකාලිකව අත්හිටුවීමට ක‍්‍රිකට් අතුරු කමිටුව පියවර ගත්තේය. එහි සභාපති ඞී. එස්. ද සිල්වා මහතා සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා කීපයක් පිළිබඳව අවධානය යොමු කරමින් මාර්තු මස 24 වැනිදා සංචාරය තාවකාලිකව අත්හිටු වුවද ඉන් දින තුනක් ඉක්ම යෑමටත් මත්තෙන් එම කණ්ඩායම සංචාරයට පිටත්ව යෑමට සමත් විය.
මෙම සංචාරය සඳහා 14 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වී සිටියි. සංචිතයේ ක‍්‍රීඩකයකුගෙන් පළමුව රුපියල් 60,000 ක මුදලක් ලබා ගත් බවත් පසුව අවස්ථා දෙකකදී තවත් රුපියල් 5,000 ක් සහ තරගාවලියට පිටත් යෑමට මොහොතකට පෙර රුපියල් 10,000 ක් ද සමග එක් අයකුගෙන් රුපියල් 75,000 ක මුදලක් එකතු කර ගෙන ඇති බවත් තතු දන්නෝ පවසති.
තරගාවලියට පිටත්ව යෑමට පෙර කොළඹ ප‍්‍රධාන පාසලකදී මුදල් එකතු කිරීමේදී ආර්ථික දුෂ්කරතා ඇති දෙමව්පියන් දැඩි අපහසුතාවට ලක් වු බව ද වාර්තාවේ. මේ සිද්ධියට සම්බන්ධ පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරින් මුදල් එකතු කිරීම සඳහා කණ්ඩායමේ ක‍්‍රීඩකයකුගේ පියකු අතරමැදියකු ලෙස යොදා ගෙන ඇති බවට ද චෝදනා එල්ලවේ.
මෙම මුදල් මුදල් ලබා දුන් ක‍්‍රීඩකයන් අතර කොළඹ සුපිරි පාසල්වල ක‍්‍රීඩකයන් මෙන්ම ආර්ථික දුෂ්කරතා සහිත පාසල් වල ක‍්‍රීඩකයෝ ද සිටිති. ඒ අතරට දකුණු පළාතේ ක‍්‍රීඩකයන් කීප දෙනකු ද ඇතුළත්ව සිටිති.
කණ්ඩායම තෝරා ගැනීමේදී ප‍්‍රධාන දුර්වලතා දෙකක් පිළිබඳව සෘජුවම චෝදනා එල්ල විය. කණ්ඩායම තේරීමේදී ක‍්‍රීඩකයන් ඉදිරිපත් කිරීමට පාසල් දැනුවත් නොකිරීම සහ වයස 13 න් පහළ ඇතැම් දක්‍ෂ ක‍්‍රීඩකයන් මගහැරීම එම චෝදනා වේ. තේරීම් තරග නොපවත්වා දින දෙකක් ඇතුළතදී සංචිතය තෝරා ගෙන ඇති බවට ද වාර්තා විය.
මෙම සංචාරය සඳහා මැලේසියාවෙන් ආරාධනා ලැබුණ ද, පාසල් ක‍්‍රිකට් සංගමයේ විධායක කමිටුව දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබුණු බව ද කියති.
සංචාරය අත්හිටුවමින් ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති ඞී. එස්. ද සිල්වා පවසා තිබුණේ එම සංචාරය සඳහා ඒ දක්වා සිවු වී ඇති සෑම දෙයක්ම නියමිත ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව කළ ඇති බවත් එය නිවැරදි කර ගන්නා තුරු සංචාරය අත්හිටුවු බවත්ය.
එහිදී සිල්වා මහතා පවසා තිබුණේ හිතු මනාපයට පාසල් ක‍්‍රීඩකයන් සංචාරවලට සහභාගි කළ නොහැකි බවත් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව වර්තාවක් කැඳවා ඒ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුව පමණක් සංචාරයට සහභාගි කරනවන බවයි.
මෙම වයස 15 න් පහළ කණ්ඩායම තෝරාගත් ආකාරය පිළිබඳව පාසල් ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ද විරෝදය පළවු බව වාර්තා විය.
පාසල් ක‍්‍රිකට් සංගමයේ අනුමැතියෙන් මෙම සංචාරයට නිලධාරින් තිදෙනකු සහභාගි වී සිටින අතර තවත් අමතර නිලධාරින් තිදෙනකු ද සංචාරයට සහභාගි වී සිටින බවට වාර්තා වේ. මෙම සංචාරයට සහභාගි වීම සඳහා පාසල් ක‍්‍රිකට් සංගමයේ ඉහළ තනතුරක් දරණ තවත් නිලධාරියකු ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඒ සඳහා අනුමැතිය ඉල්ලා සිටි බවද දැන ගන්නට ලැබේ.
මේ අතර බංග්ලාදේශ සංචාරයට සහභාගි වන වයස 19 න් පහළ කණ්ඩායම තෝරා ගැනීමේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක මලිත් කුරේ අතිරේක ක‍්‍රීඩකයන්ගේ ලැයිස්තුවට වැටීම පිළිබඳ බොහෝ දෙනකු විමතිය ඵල කරති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියකුගේ මැදිහත් වීමෙන් දක්‍ෂතා නොපෙන්නු බව කියන ක‍්‍රීඩකයකු ද කණ්ඩායමට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. මේ තත්ත්වයන් තුළ මෙරට පාසල් ක‍්‍රිකට් පිටිය මෙවැනි සිදුවීම් වලට නම් දරණ ස්ථානයක් බවට ඉදිරියේදී පත්වීම වැලැක්විය නොහැකි කරුණක් වනු ඇත.
මෙවර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ ආනන්ද විදුහල් නායක දිනේෂ් චන්දිමාල් කටයුතු කරයි. දිනේෂ් මීට වසර කීපයකට පෙර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල නියෝජනය කරද්දී ඔහු කොතරම් දස්කම් දැක්වුව ද ඔහුට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම්වල ස්ථානයක් හිමිනොවී මෙහිදී විශේෂයෙන් සිහිපත් වන කරුණකි.
පාසල් ක‍්‍රිකට් ක්‍ෂේත‍්‍රයේ පසුගිය වසර පහක පමණ කාලයක් ඇතුළත මෙවැනි සිද්ධින් සුළු වශයෙන් වාර්තා වුව ද මෙවැනි සිදුවීම්වලින් පෙනෙන්නේ නැවතත් දුෂිත නිලධාරින් හිස ඔසවමින් සිටින බවය. මෙම මැලේසියානු සංචාරයේ සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව විනය පියවර නොගත හොත් එය මෙරට පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අභාග්‍යයකට හේතුවනු ඇතැයි මැදහත් විචාරකයන්ගේ මතයයි.


